පණ්ඩිතයින් අතහැර බාලයින් ඇසුරට වැටුණු ජනාධිපතිවරයා බාල වැඩ කරමින් ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
“එදා සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබ්බ කඳුළු ගෑස් වෙඩිල්ල එතුමාගේ ජීවිතය හානි කරන්නයි තිබ්බේ. මේ වගේ වැඩ කරනකොට අපිට කිසිසේත්ම සහයෝගයක් දෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිත් එක්ක ඉන්නකොට මේ වගේ වැඩ කෙරුවේ නෑ. එදා එතුමා ලෝක ප්රජාතන්ත්රවාදී සංගමයේ සභාපති. එතුමා දැන් පණ්ඩිතයන් සමග ආශ්‍රය නවත්තලා බාලයන් සමග තමයි ආශ්‍රය කරන්නේ ඒකයි මේ බාල වැඩ කරන්නේ. අපිත් එක්ක ඉන්නකොට ලෝක ප්රජාතන්ත්රවාදී සංගමයේ සභාපති, වෙලාවට මැතිවරණ තියන්න උත්සාහ කෙරුවා.
නමුත් දැන් මොකද කරන්නේ පළාත් පාලන මැතිවරණයත් කල් දැම්මා. උසාවිය කියපු දේවල් ඇහුවෙ නෑ. ඒ විතරක් නෙමෙයි, උසාවි තීන්දුව දුන්න විනිශ්චකාරවරු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගේන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කරා. අධිකරණය මෙල්ල කරන්නේ හැදුවේ. ජනාධිපතිවරයාගේ ක්‍රියාකාලාපය මට අදහගන්න බෑ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න කියලා ආවේ නමුත් හැමදාම පාර්ලිමේන්තුව දුර්වල කරනවා.
අද බදු වර්ග හතළිහකින් විශාල බදු බරක් තියෙනවා. රස්සාවක් නැති දරුවන්ටත් ටින් අංකය ගන්න කියනවා. හැම පුරවැසියෙක්ගෙන්ම ඇඟ බද්දක් ගන්නයි හදන්නේ. බ්‍රිතාන්‍යයෙන් උඩරට අල්ලගත්තට පස්සේ උඩරැටියන්ට කිව්වා ඒ අයගේ ව්‍යාපෘතිවල ඇවිල්ලා වැඩ කරන්න කියලා. නමුත් බෑ කිව්වා. පස්සේ බදු වර්ග ගණනාවක් හඳුන්වා දීලා ඇඟ බද්ධ, බලු බද්ධ, පාර බද්ද, තුවක්කු බද්ද, ඔරු බද්ධ වැනි බදු පටවලා ජනතාව විශාල පීඩනයකට පත් කෙරුවා. 48 කැරැල්ල ආවේ ඒක නිසා. අදත් අපි ඉන්නේ කැරැල්ලක අබියස.
ආර්ථිකය ගැන මෙතන උජාරුවට කතා කෙරුවා නමුත් එතුමා ජනාධිපති වුණාට පස්සේ ණය එක සතයක්වත් ගෙවල නෑ. අදට බැලුවොත් බිලියන 20ක් ණය ගෙවන්න ඕනේ. එතුමා කිව්වා පෝලිං අඩුවෙලා කියලා. ඒක ඇත්ත. මොකද පරිභෝජනය 40% අඩුවෙලා. ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ, එළවළු මේ සියල්ල පරිභෝජනය අඩුවෙලා. පරිභෝජනය අඩු වුණාම පෝලිං අඩුවෙනවා තමයි. මිනිස්සුන්ට සල්ලි නෑ එක වේලයි දෙවේලයි කන්නේ.
රාජාසන කතාවේ ජනතාවගේ බඩගින්න ගැන සඳහන් කරල තියෙනවද? වචනයක්වත් නෑ. ඇයි ඒ? මොකද ජනතාවගේ බඩගින්නට වඩා මේ ජාත්‍යන්තර සංවිධාන මෙයාලට ලොකුයි.”