ජනාධිපතිට ඇඟේ හයියෙන් අපේ සහයෝගය ගන්න බෑ..! – කිරිඇල්ල…

February 8, 2024 at 11:16 am | by emanisa.lk

නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජාසන කතාව සිදු කරද්දී විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්ව ගියේ හදිසියේ ගත් තීරණයක් අනුව නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

“රාජාසන කතාව වෙලාවේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය හදිසියේ ගත්ත එකක් නෙවෙයි. මොකද පසුගිය අවුරුදු එකහමාර, දෙක තුළ විපක්ෂයක් හැටියට අපේ කාර්යභාරය ඉෂ්ට කරන අතර මේ රට ගොඩනගන්න අපි රජයට යම්කිසි සහයෝගයක් දුන්නා. උදාහරණයක් හැටියට වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති ධුරය භාරගත්තාට පස්සේ 19 වැනි සංශෝධනය යළි බලාත්මක කරන්න 21 වැනි සංශෝධනය ගෙනාවාම අපි අවශ්‍ය තුනෙන් දෙක දුන්නා.

මෑත කාලෙදි අපි දකින දෙයක් තමයි හිතුවක්කාර ලෙස, මුළු ලෝකෙම එපා කියද්දී ආණ්ඩුවේ බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව තුළ බලය පාවිච්චි කරලා ඒ බලය තුළින් – දැක්කානෙ කථානායකතුමා හෙඩ්ෆෝන් එක දාගෙන, අපි කියන ඒවා ගැන තුට්ටුවකටවත් මායිම් නොකර ඒ කටයුත්ත සිද්ධ කෙරුවා.

සමහර පනත් ගේනවා හදිස්සියේ. සාමකාමී විරෝධතාවලට පහර දෙනවා. ගරු ජනාධිපතිතුමා විපක්ෂයේ ඉන්නකොට ඔය මතය දැරුවේ නෑ. දැන් ජනාධිපති වුණායින් පස්සේ ඇඟේ හයිය පාවිච්චි කරලා අපේ සහයෝගය ගන්න හදනවා නම් ඒක ගන්න බෑ. දැන් ඇඟේ හයිය පෙන්නලා අපේ සහයෝගය ගන්නනෙ හදන්නෙ ? අපි ඒක දෙන්නෙ නෑ.”

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *