කඳුකර දෙමළ ජනතාවට රටෙන් සිදුවූ ඓතිහාසික වරද නිවැරදි කරනවා…! – අනුර…

October 16, 2023 at 7:13 pm | by emanisa.lk

මීට වසර 200කට පෙර වතු වගාවට සහ මාර්ග ඉදිකිරීම සඳහා ගෙන ආ කඳුකර දෙමළ ජනයාට අපේ රටේ ඓතිහාසික වැරැද්දක් සිදුව තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

ඊයේ (15) හැටන් හී දී ජාතික ජන බලවේගය විසින් සිය ‘හැටන් ප්‍රකාශනය’ ට අත්සන් තැබීමේ උත්සව අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

“ජාතික ජන බලවේගයේ අපි ඔබට සපථ කරනවා එම ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන බවට. මෙම හැටන් ප්‍රකාශයෙන් ඒ සඳහා අවශ්‍යවන මූලික මඟපෙන්වීම අපි කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ අවුරුදු 125ක්, වර්තමාන පාලකයන් යටතේ අවුරුදු 75ක් මේ අවුරුදු 200ක ජීවිතය පරම්පරා හතරකට වඩා අධික සමුදායකට අත්පත්කර දී ඇති ඉරණම කුමක්ද? 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගියාට පසුව දේශීය කණ්ඩායමක් පාලනය අතට ගන්නවා.

මේ කඳුකර දමිළ ජනතාවට අවශ්‍ය වෙන්නේ ගෞරවය සහිත මහා මිනිස් ප්‍රජාවක් බවට වර්ධනය වීමයි. ජාතික ජන බලවේගය ලෙස අපි ඔබ දෙස බලන්නේ අනුකම්පාවක් යදින ජනතාවක් ලෙස නොවෙයි. ඔබට අවශ්‍ය මේ රටේ ගෞරවණිය පුරුවැසියෙක් හැටියට මේ රට තුළ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමයි. ඒ සඳහා ඔබට යුක්තිසහගත අයිතියක් තිබෙනවා.

අදත් එහෙමයි. රත්නපුර දිස්ත්‍රික්කයේ විද්‍යා සහ ගණිත අංශයෙන් උසස් පෙළ දෙමළ භාෂාවෙන් හැදෑරීම සඳහා එක පාසලක්වත් නැහැ. මේ මධ්‍ය කඳුකරයේ යම් ප්‍රමාණයකට තිබුණත් පහළට යනකොට ඇත්තේම නැහැ. අධ්‍යාපනයෙන් පිටමං කරන ලද දරු පරම්පරාවක් මෙහි ඉන්නේ.
මේ කඳුකර ජනයාගේ ජීවන තත්වය වෙනස් කරනවා නම්, පොතක් කියවන, කවියක් රස විඳින, තමිල්නාඩු චිත්‍රපටයෙන් මිදිලා ලංකා සිනමාවක් ගැන කල්පනා කරන නව පරම්පරාවක් අපි හදන්න ඕනෙ කියා අපි විශ්වාස කරනවා.

දීර්ඝ කාලයක් මේ පළාත්වල තිබෙන්නේ ඡන්ද නොවෙයි. ඡන්ද බැංකු. මහින්ද රාජපක්ෂට වතුකරයේ ඡන්ද නැහැ. නමුත් තොණ්ඩමන්ගේ ඡන්ද බැංකුවක් තිබෙනවා. ඇමතිකම් කීයද? ආණ්ඩුකාර ධුර දෙනවාද? ඡන්ද බැංකුව උගස් තියනවා. පුරවැසියාගේ තනි තනි ඡන්දයට තිබෙන බලය ඡන්ද බැංකුවක තැන්පත්කරගෙන ඒ සේප්පුවේ යතුර තොණ්ඩමන්ගේ, දිගම්බරම්ගේ අතේ තියාගෙන එහෙට, මෙහෙට සේප්පුව අරිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *