මහනුවර දෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී හිස් ලූ ලූ අත දිවගොස් ඇත. තවත් පිරිසක් වැවට පැන ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදාව ඔවුන් බේරාගනු ලැබ ඇත.
කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගොස් එක් ඇතකු රැජින හෝටලයේ කොරිඩෝවට කඩාවැදී කලබල කිරීමත් සමග ඇත්ගෝව්වෝ පිරිසක් මහත් වෙසෙක් දරා එම ඇතා බැඳදැමීමට කටයුතු කළහ.
කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළේය. මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව ආරක්ෂක අංශ පැවැසීය. මෙම කලබලයට හේතුව ඇතෙකුට කොප්පරා අඟුරු පැඟීම යැයි ද වාර්තාවෙයි.