දුශ්ශීල භික්ෂූන් සම්බන්ධයෙන් උන්වහන්සේලා නියෝජනය කරන ඒ ඒ නිකාය මඟින් ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දක්වනු වෙනුවට බෞද්ධ ජනතාව ආවේගශීලීව නීතිය අතට ගෙන කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව මල්වතු, අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රකාශ කරති.
විනය විරෝධී ක්‍රියාවල නිරත භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ නිකායට අයත් සංඝ සභා මඟින් පරීක්ෂණ පවත්වා අදාළ හිමිවරුන්ගේ ශාසනික වරප්‍රසාද පවා අහිමි කළ අවස්ථා බොහෝ තිබෙන නමුත් මාධ්‍ය තුළ ඒවා ප්‍රචාරය නොවීම ගැටලුවක් යැයි ද උන්වහන්සේලා අවධාරණය කරති.
මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සි යන නාහිමිවරු මේ බව ප්‍රකාශ කර සිටිති.
සමාජ මාධ්‍ය මඟින් කරනු ලබන ඇතැම් ප්‍රචාර වැරදි පරමාර්ථ මුල්කර ගනිමින් සිදු කරන බව බෞද්ධ ජනතාව බුද්ධිමත්ව අවබෝධ කරගත යුතුව ඇතැයි ද යම් සිදුවීමක් මූලික කර ගෙන මහජනතාව ආවේගශීලීව නීතිය අතට ගෙන කටයුතු කරන්නට යෑමෙන් අවසානයේ වරදකරුවන් වී නීතිය ඉදිරියේ දඬුවම් විඳින්නට සිදු වන්නේ ඔවුන්ටම බව ද අනුනාහිමිවරු පවසති.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ සියලු දෙනා මනුෂ්‍යයින් වුවත් මිනිසුන් අතර, දේව, මනුෂ්‍යය, යක්ෂ, රාක්ෂ, ප්‍රේත ස්වභාවයන් දක්නට ලැබෙන බවත් වැඩිදුර කල්පනා නොකරන අඥාන පුද්ගලයින් රාගී චේතනාවන්ට නැඹුරුව සිදු කරන වැරදි සම්බන්ධයෙන් අප යථාර්ථ වශයෙන් තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් බවත් පැවසූහ.
සත්‍යය මත පදනම් වූ සම්බුද්ධ දර්ශනයට මෙමඟින් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මෙවැනි සිදුවීම් නිසා අඥාන ලෙස නොහැසිරී බෞද්ධ ආකල්ප මෙන්ම බෞද්ධ සම්ප්‍රදායන් හොඳින් පවත්වාගෙන යෑමට අධිෂ්ඨාන කිරීම වැදගත් යැයි ද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ අදහස් දක්වමින් බෞද්ධ ජනතාව මෙවැනි අවස්ථාවක ආවේගශීලීව කටයුතු කර වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් අවසානයේ සිදු වන්නේ ඔවුන් පමණක් නොව සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ පවා අපහසුතාවට පත්වීම යැයි පැවසූහ.
සංඝ සමාජය තුළ අතීතියේ පටන් මේ ආකාරයට කටයුතු කළ භික්ෂූන් වහන්සේලා සිටි බවත් බුදුන් වහන්සේට වරින්වර විනය නීති පැනවීමට සිදු වූයේ මේ නිසා බවත් කී අනුනාහිමියෝ වර්තමානයේ සමාජ මාධ්‍ය සියලු දෙනා වැළඳගෙන සිටින බැවින් මෙවැනි සිදුවීම් ඉතා සුළු කාලයක දී වැඩිපිරිසක් අතරට පැතිර යන බව ද අවධාරණය කළහ.
මේ ආකාර සිදුවීම් නිසා භික්ෂු සමාජය කෙරෙහි ජනතාව තුළ පවතින ආකල්ප වෙනස් වීම නිසා ඉදිරියේ දී ශාසනයට දරුවකු පූජා කිරීමට පවා දෙමවුපියන් මැළි වනු ඇති බවත් ඇතැම් බෞද්ධ විරෝධී කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ එය බව බෞද්ධ ජනතාව හොඳින් අවබෝධ කර ගැනීම වැදගත් බවත් උන්වහන්සේ කීහ.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ අදහස් දක්වමින් විනය විරෝධී ලෙස කටයුතු කරන භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ සංඝ සභාවන් මඟින් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එය ගිහියන්ට කළ නොහැකි බවත් පැවසූහ.