නීති කැඩූ ඉන්ධනහල් 500ක බලපත්‍ර අත්හිටුවයි…!

June 6, 2023 at 9:16 am | by emanisa.lk

ඉන්ධන ධාරිතාව තබාගෙන ඉන්ධන අලෙවි නොකළ ඉන්ධන හල් හිමියන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නියෝගයක් කොට තිබේ.

ඒ අනුව ඉන්ධන මිල සංශෝධනය වූ දින බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් අවශ්‍ය පරිදි ඉන්ධන ඇනවුම් නොකර සියයට 50ක අවම ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ඉන්ධන හල් 500ක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආරම්භ කොට ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇත්තේ ද ඉන්ධන හල් 1,300 පමණි.

ඉන්ධන මිල සංශෝධනය ගැන ආරංචියත් සමග ප්‍රදේශ රැසක ඉන්ධන හල්වල, ඉන්ධන නොමැති බව සඳහන් කරමින් වසා දැමීම පදනම් කර ගනිමින් ඇමතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබිණි.

පසුගිය දින කිහිපයේ රට තුළ ඉන්ධන හිඟයක් නිර්මාණය වූයේ මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් බව ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

එසේ ම, අලෙවි නියෝජිතයන් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑම විට ම පවත්වාගෙන යා යුතු වන බව ත් ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙසට විෂය භාර ඇමතිවරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරට ත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *