ජනාධිපතිවරයා ජාතිය අමතමින් නැවතත් රට අවුල් කරන්න දෙන්නේ නැහැ කිව්වේ රාජපක්ෂ මහත්වරුන්ට නැවතත් බලයට එන්න නොදෙන්නේ යැයි දැයි සැකයක් මතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හාස්‍යයට කාරණාව ගතවුණු වසර 75 ක කාලයෙන් වසර 40 ක කාලයක් එතුමා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට කටයුතු කරමින් ඉන් වසර 30 ක්ම විධායකය නියෝජනය කරපු පුද්ගලයෙක් වීම බව කී ඩලස් අලහප්පෙරුම, එවිට මේ රට අවුල් කරන්න කළේ කවුද කියන ගැටලුව මතුවන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ප්රජාතන්ත්රවාදයට රටේ ඉඩක් නැති ද යන ප්රශ්නය මතුවන බවත් එතුමා නිරන්තයෙන්ම 2048 වන විට මේ රට සංවර්ධනය කරනවා යැයි ප්‍රකාශ කිරීම විහිළු සැපයීමක් බවත් හෙතෙම කීය.
එතුමා 2000 දී බලයට පැමිණිමෙන් පසුව ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ඉදිරිපත් කරමින් මෙම කථාවම ප්‍රකාශ කළ බව කී ඩලස් අලහප්පෙරු පැවසුවේ, ඉන් පසුව 2015දී දින 100 ක වැඩසටහන් සමඟ 2025 දී අලුත් රටක් හදන්නේ යැයි ප්‍රකාශ කළ බවයි.
ඒ කිසිම දෙයක් යථාර්ථයක් බවට පත්නොවී හුදෙක්ම වැඩපිළිවෙළක් නොමැති සිහින කතා පමණක් බව කී ඩලස් අලහප්පෙරුම, සංවර්ධිත රාජ්‍යයක් මනින ප්‍රධාන මිනුම් දඩු දෙක වන “ඒක පුද්ගල ආදායම” සහ “දළ ජාතික නිෂ්පාදනය” පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද කීය.
සංවර්ධිත රටක ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 12,000 ක් පැවතිය යුතු මෙන්ම දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 300 ක් වියයුතු බවත් ශ්‍රී ලංකාවේ වර්තමාන ඒක පුද්ගල ආදායම ඩොලර් 3,474 ක් වන නිසා ඉදිරි වසර කිහිපය තුළ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ යුතු බවත් එය බැලූ බැල්ලමට හීනයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම “නිදහස ජනතා සභාව” නාවල ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවේ දී එසේ පැවසීය.