රනිල් උද්ඝෝෂණ මඬින්න රසායනික අවි යොදා ගන්නවාදැයි සැකයි…! – අනුර…

March 11, 2023 at 10:02 am | by emanisa.lk

උද්ඝෝෂණ මැඬලන්න ආණ්ඩුව රසායනික අවි පාවිච්චි කරනවාදැයි සැකයක් තිබෙන බව ජාතික ජනබලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

එමෙන්ම ලෝකයේ තහනම් කරන ලද විවිධ විස දුම් වර්ග මේ මර්දනය සඳහා පාවිචිචි කරනවාද යන්න සැක සහිත බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ අද උද්ඝෝෂණවලට පහර දීමට කුරුඳු පොලුවලින් පහර දෙන සංස්කෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බවද හෙතෙම කීය. ජ.වි.පෙ. පක්ෂ මූලස්ථානයේ (09) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

“පෙරේදා දිනයේ මියගිය කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරි, ප්‍රියන්ත වන්නිනායක සොහොයුරා මිය යන්නේ වෙඩි උණ්ඩයකට හෝ හදිසි අනතුරකට නොවෙයි. කඳුළු ගෑස්වල ප්‍රහාරය හේතුකොටගෙන. මුහුණ සෝදාගෙන ටික වේලාවකින් ඔහු මිය යනවා. අපේ නිමල් සහෝදරයත් මිය ගියා මේ කඳුළු ගෑස් වැදිලා. මේවා ඝාතන. මේ එල්ල කරන කඳුළු ගෑස් ගැන පවා විශාල සාධාරණ සැකයක් තිබෙනවා. මේ මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජයට පත්කළ යුතුයි.

රසායනික අවි පාවිච්චි කරනවාදැයි සැකයක් තිබෙනවා. ලෝකයේ තහනම් කරන ලද විවිධ විස දුම් වර්ග මේ මර්දනය සඳහා පාවිචිචි කරනවාදැයි සැකයි. රනිල් වික්‍රමසිංහ ඉතාමත් වියරු මනසකින් මේ රට පාලනය කරන්න උත්සාහ දරනවා. මේ අනතුර අපි කලින්ම හඳුනාගෙන තිබෙනවා. මේ අනතුර පරාජයට පත්කිරීම සඳහා මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා.

රනිල්ගේ මේ වියරු ක්‍රියාමාර්ගයන්ට ජාතික ජන බලවේගයත් මේ රටේ පොදු මහජන බලයත් යටපත් කරන්න බැරි බවත් අවසානයේ ජයග්‍රහණය කරන්නේ මේ රටේ මහජනයාගේ බලය බවත් රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ මර්දනකාරී ක්‍රියාමාර්ග වහාම නතර කළ යුතුයි.

මේ මර්දනකාරී ක්‍රියාමාර්ග අපි මුළුමනින්ම හෙළා දකිනවා. ඒ වගේම මේ මර්දනකාරී ක්‍රියාමාර්ග පරාජයට පත්කිරීම සඳහා ගොඩනැඟිය හැකි පුළුල්තම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයන් සමඟ කටයුතු කිරීමට අපි සූදානම්”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *