ජනවාරි සිට රු. 55ට බිත්තර..! රට පුරා ජංගම අලෙවි සැල්..! ආරක්ෂාවට පොලිසිය..!

December 27, 2022 at 10:35 am | by emanisa.lk

වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 55ට අලෙවි කිරීමේ ජංගම සේවාවක් ආරම්භ කිරීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මේ මස අවසානයේ සිට රුපියල් 55ක මිලකට බිත්තරයක් සැපයීමට කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර තිබේ.

එම ක්‍රියාවලිය ආරම්භයේදී ම කොළඹට දිනපතා බිත්තර ලොරි 20ක් බැගින් එවීමටත් ඒවා ජනාකීර්ණ ප්‍රදේශවලදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමටත් ඔවුන් එකඟ වී ඇත.

එමෙන් ම, එය ක්‍රමයෙන් වෙනත් නාගරික ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට එකඟතාව දැක්වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය.

එම මිලට බිත්තර ලබා දෙන්නේ නම් අතරමැදි වෙළෙන්දන්ගෙන් හෝ තැරැව්කරුවන්ගෙන් හෝ වෙනයම් පාර්ශ්වයකින් බලපෑම් එල්ල වුවහොත් ඒ වෙනුවෙන් පොලිස් ආරක්ෂාව වුව ද සම්පාදනය කර දීමට හැකි බව ඇමතිවරයා එහිදී පවසා ඇත.

බිත්තර නිෂ්පාදකයන් සාධාරණ මිලකට බිත්තර ලබා නොදෙන්නේ නම්, පාරිභෝගිකයන්ට අඩු මිලට බිත්තර ලබා දීමට විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇතැයි ද එහිදී ඇමැතිවරයා අවධාරණය කොට ඇත.

තවමත් තමන් බිත්තර සපයනු ලබන්නේ රුපියල් 49 හා 55 මිලට බව එහිදී බිත්තර නිෂ්පාදකයන් ඇමතිවරයා හමුවේ පවසා තිබේ. අතරමැදියන් පිරිසක් බිත්තර ගබඩා කොට ගෙන හිතු මනාපයට බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කරන බවට ඔවුහු චෝදනා කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *