බැඳුම්කර වංචාව ගැන වාර්තා යට ගැහුවේ රාජපක්ෂලා…! – මෛත්‍රී…

November 20, 2022 at 7:15 am | by emanisa.lk

2007 සිට මහ බැංකුවේ සිදුවු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ විදේශීය වෝහාරික විගණනයේ වාර්තාව රාජපක්ෂවරුන් යට ගැසූ බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“මගේ කාළේ වෙච්ච මහ බැංකු මුල්‍ය වංචාවේ දී ඒ සඳහා පත්කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගෙන් සමනවිත ජනාධිපති කොමිසම වාර්තාව දෙන ගමන් අවසානයේ වාර්තාවේ ලිව්වා මීට වඩා දෙයක් 2007 සිට ඒ දක්වා සිදු වී ඇති බව අපි විශ්වාස කරනවා ඒ නිසා මේකට වෝහාරික විගණනයක් කරන්න.

මේකට ලංකාවේ සුදුසු අය නෑ ඒ නිසා විදේශ රටවිලින් ගෙන්නලා මේ වෝහාරික විගණනය කරන්න කියලා. මම කිව්වා වහාම අද ඉදලා වැඩේ පටන් ගන්න කියලා. ඊට පස්සේ ආචාර්ය කුමාරස්වාමී මැතිතුමා වෝහාරික විගණනයට ජාත්‍යන්තර කැඳවීම් සිදුකළා. සමාගම් 3ක් ඉදිරිපත් වුණා. සමාගම් 3නට අංශ 3ක් භාරදුන්නා.

ඒ වාර්තාව පිට වුණේ මම ජනාධිපති ධුරයෙන් ඉවත්වෙලා වසරකට විතර පස්සේ. තමුන්නාන්සේලාට මතක ඇති ඒ වෝහාරික විගණන වාර්තා 3නම අසත්‍යයි සම්පුර්ණයෙන් මේවායේ තියෙන්නේ අමූලික බොරු කියලා 2019 න් පස්සේ පත් වුණ ආණ්ඩුව විශාල මාධ්‍ය ප්‍රචාරයක් අරන් ගියා. රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුව වාර්තා 3නම විසිකෙරුවා. මම දන්නේ නෑ අද වෙනකොට ඒ වාර්තා තියෙන්නේ කොහෙද කියලා.”

මහවැලි කේන්ද්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ‘‘අර්බුදය, අයවැය සහ අනාගතය” නම් අයවැය සම්මන්ත්‍රණයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *