විපක්ෂයේ පක්ෂ කිහිපයක්, වෘත්තිය සමිති සහ අරගල නායකයන් එක්ව නොවැම්බර් 02 දා පැවැත්වීමට සංවිධානය කර තිබෙන උද්ඝෝෂණය සඳහා දේශපාලන නායකත්වය දීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
උදෑසනට ආණ්ඩුවට බැණවැදී රාත්‍රියට ආණ්ඩුව සමඟ හාදකම් කරන පාර්ශ්වයන් අතට කිසිසේත් උද්ඝෝෂණයේ හෝ අරගලයේ නායකත්වය නොයෑමට ප්‍රවේසම් විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත.
අරගලයේ පාර්ශ්ව කිහිපයක නායකයන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ පෙරේදා (26) පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කර තිබේ.
මේ සාකච්ඡාවට සමඟි ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනකු සහ දානිෂ් අලි ඇතුළු අරගලයේ නියෝජිත පිරිසක් ද සහභාගී විය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ හෝ ඊට අනුබද්ධ බහුජන සංවිධාන මේ සාකච්ඡාව වර්ජනය කර ඇත.
එහි දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ධම්මික මුණසිංහ දෙසට හැරුණු විපක්ෂ නායකවරයා “කෝ ඔයාලගේ නායකතුමා අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා එක්ක විතරයිනේ ගනුදෙනු කරන්නේ, අපි එක්කත් සම්බන්ධ වෙන්න කියන්න.” යනුවෙන් පවසා ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.