ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල කණ්ඩායමක් ඉදිරි මහ මැතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ තරඟ වැදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සඳහන් කරයි.
එසේ රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස දැනට ආණ්ඩුවේ සිටින අයගෙන් තිහක හතළිහක පමණ පිරිසක් බව ද හෙතෙම පැවසීය.
මේ පිළිබඳව එම කණ්ඩායම දැනටමත් අවස්ථා කිහිපයක දී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බව ද ඔහු කියා සිටියේය.
තමන්ට ද ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කරන්නැයි ආරාධනා කර ඇති බව පැවසූ හකීම් කණ්ඩායමක් සමඟ එක්ව කටයුතු කරන විට පිල් මාරු කිරීම සුදුසු නැති බව ද පැවසීය.
කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අවබෝධයෙන් කටයුතු කරන බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.
රවුෆ් හකීම් මේ බව කියා සිටියේ මහනුවර දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
මේ අතර පොහොට්ටු මන්ත්‍රීවරුන් රවී කරුණානායකගේ නිවසේ දී හමු වී නිතර සාකච්ඡා කරන බව ද වාර්තා වෙයි.