ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායකතුමා,
ගරු අධිකරණ අමාත්‍යතුමා සහ සෙසු සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත.
ගරු මැතිඳුනි,
22 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම සඳහා වන බෙදුම්වාදී සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී කූඨ ලෙස ඇතුළත් කිරීම වැළැක්වීම
ඔබතුමන්ලා ඉතා හොඳින් දන්නා පරිදි මෙම මස 6 සහ 7 දිනවල දී කඩිනමින් සම්මත කිරීමට යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව මහජනයා අතර පරස්පර මතවාද මෙන් ම අවිශ්වාසයක් සහ විරෝධයක් පවතින බව අප විසින් නිරීක්ෂණය කර ඇත. මහා සංඝරත්නය සහ මේ රටේ විද්වතුන් මෙන් ම බහුතරයක් පොදු ජනතාව ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණවලට විරෝධයක් නැතත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුත්තේ ආර්ථික අර්බුදය යම් පමණකට හෝ සමනය කිරීමෙන් පසු ව බවට පොදු මතවාදයක් දරන බව ද කිව යුතු ය. එහෙත් යම් පාර්ශ්ව ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය එකට බැඳී ඇති බැවින් පළමු ව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවට අදහස් ඉදිරිපත් කරන බව ද අප වෙත දැනගැනීමට ලැබී ඇත.
ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පොදු මහ ජනයාගේ දැනුම්වත්භාවය සහ එකඟතාව සහිත ව සිදු කළ යුතු අතර එම ක්‍රියාවලිය තුළ විවෘතභාවය සහ සද්භාවය පෙන්වීම තුළින් මහජන විශ්වාසය තහවුරු කළ යුතු ය. නමුත් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය තුළ එම මූලික ප්රතිපත්තයට ගරු කිරීමක් නොමැති බව දක්නට ලැබේ. උදාහරණයක් ලෙස කෙටුම්පතට ඇතුළු කිරීම සඳහා විවිධ දේශපාලන පක්ෂ විසින් ලබාදුන් යෝජනා කිසිවක් කෙටුම්පතට ඇතුළු කර නොමැති අතර ඒවා කාරක සභා අවස්ථාවේ දී පසු ව ඇතුළු කරන බව අප වෙත වාර්තා වී ඇත. එසේ ම මේ වන විට දෙමළ ඩයස්පෝරාව විසින් සිදුකරන ප්‍රකාශ අනුව රටට ඩොලර් එවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කළ යුතු බවට කොන්දේසියක් පනවා ඇත. ඊට අමතර ව ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්වරිය සහ ඉන්දියාවේ ජිනීවා තානාපතිවරයා එසේ කළ යුතු බවට දැඩි බලපෑමක් එල්ල කර ඇත. ඒ නිසා මේ වන විට ආණ්ඩුවේ යම් පාර්ශ්ව විසින් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු නොවන යම් බෙදුම්වාදී සංශෝධන එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීමට අදාළ සංශෝධන කිහිපයක් විවාදයේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට ඇතුළු කිරීමට ඉඩ තිබෙන බවට මහජනයා අතර බරපතල සැකයක් ඇති වී ඇත.
හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම වළක්වා ඇත්තේ 154 වගන්තියට අන්තර්ගත කර ඇති ව්‍යවස්ථාමය බාධක කිහිපයක් මගිනි. ඒ අනුව ඒවා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කළහොත් ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වේ. එම ක්‍රියාවලිය ජාත්‍යන්තර මැදිහත් වීමක් යටතේ අවසන් වනු ඇත්තේ රට බදා වෙන් කිරීමෙන් බවට කිසිදු සැකයක් නැත. ඔබතුමන්ලා ඊට ඉඩසැලසුව හොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වනු ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ද අවසන් වන අතර සුඩානයේ මෙන් දේශ සීමාවක දෙපස මරා ගන්නා අවාසනාවන්ත ජාතියක් බිහි වනු ඇත.
එනිසා එවැනි තත්ත්වයක් වැළැක්වීම තිස් දහසක් ජීවිත පරිත්‍යාග කළ සහ තවත් තිස් දහසක් අතපය, දන්දුන් රණවිරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු පරම වගකීමකි. ඔබ ඊට අසමත් වුව හොත් හෝ දැනුම්වත් ව ඊට දායක වුවහොත් එය ඔබ විසින් කරන ලද මහා පාවා දීමක් ලෙස ඉතිහාසය සනිටුහන් කරනු ඇත. එම නිසා කවර වූ හෝ ආකාරයකින් 22 වැනි සංශෝධනයට බෙදුම්වාදී සංශෝධන ඇතුළු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
ඒ සඳහා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට ද කැමැත්තෙමු.
1. අධිකරණයේ දී නීතිපතිවරයා විසින් එකඟ වන සංශෝධන සහ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන අතුරින් ආණ්ඩුව එකඟ වන සංශෝධන සියල්ල නිශ්චිත වගන්ති ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනයා වෙත වහා ම ප්‍රකාශයට පත් කිරීම.
2. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන යෝජනා කුමන පක්ෂ විසින් ඉදිරිපත් කළේ ද යන්න මහ ජනයාට අනාවරණය කිරීම.
3. එසේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට ඇතුළු කරන බවට ප්‍රකාශයට පත් කළ සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් විශේෂයෙන් ම 154 වගන්තියේ අඩංගු ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා වන වගන්ති කෙටුම්පතට ඇතුළු නොකරන බවට උපදේශක කාරක සභාවේ දී සහ කථානායකවරයා, අගමැතිවරයා සහ සභානායකවරයාගෙන් සහතිකයක් ලබාගැනීම.
4. එවැනි සහතිකයක් ලබා නොදෙන තත්ත්වයක් යටතේ විවාදය සහ ඡන්දය වර්ජනය කිරීම මගින් ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කෙරෙන ඒ මහා ඓතිහාසික පාපකර්මයට දායක නොවී සිටීම. (ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට ඉඩ හැර ඡන්දය නොදී සිටීමෙන් පමණක් එම පාපකර්මයෙන් ඔබ නිදහස් නොවන බව සලකන්න.)
මේ වගට,
අත්සන් කළේ,
ජාතික මහජන සභාව – මහාචාර්ය පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ජාතික විද්වද් භික්ෂු සංසදය – ආචාර්ය පූජ්‍යය මාදුරුඔයේ ධම්මිස්සර හිමි
ශ්‍රී ලංකා- චීන සහයෝගිතා සංගමය – මහාචාර්ය පූජ්‍යය මල්වානේ චන්දරතන හිමි
ථේරවාද විමර්ශන සභාව – ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි
ජාතික සංවිධාන එකමුතුව – අචාර්ය ගුණදාස අමරසේකර
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය – වෛද්‍යය වසන්ත බණ්ඩාර
ජාතික ඒකාබද්ධතා කමිටුව – කර්නල් අනිල් අමරසේකර
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය – යසස් ධර්මදාස
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ නියෝජිත – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය – ජනක බෝධීනන්ද
මහජන රාජ්‍යය සභාව – විශේෂඥ වෛද්‍යය ඉන්ද්‍රජිත් කමලදාස
මහජන යුතුකම් කේන්ද්‍රය – විශේෂඥ වෛද්‍යය හැරිස් පතිරගේ
වෛද්‍යය පීඨ ශිෂ්‍යය දෙමව්පිය සංගමය – වසන්ත අල්විස්
ජාතික ගොවිජන එකමුතුව – ඉංජිනේරු රජරට අනුරාධ තෙන්නකෝන්
දේශප්‍රේමී විද්වත් සංසදය – ඉංජිනේරු නිමල් විජේතුංග
සුපිරිසිදු රටක් -රටට හෙටක් සංවිධානය – අජිත් සෙනෙවිරත්න
ඉංජීනේරු වෘතීයවේදීන්ගේ සංගමය – ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න
56 දරුවෝ සංවිධානය – සේනාරත්න ද සිල්වා
ලක්දිරිය කාන්තා පදනම – ප්‍රියංගා කොතලාවල
යුක්තිය සහ පරමාධිපත්‍යය උදෙසා ජනතා හඬ – නීතිඥ මධුමාලි අල්විස්
සම්ප්‍රදයානුකූල පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය – බුද්ධික ද සිල්වා
විජයග්‍රාහි ජාතික සංවිධානය – වසන්ත පුංචිහේවා
ධර්මපාල පරපුර – සාලිය හෙට්ටිආරච්චි
මව්බිම ලංකා පදනම – වෛද්‍යය සුමිත් වන්නිආරච්චි
ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා