ගාලු මුවදොර පිටියේ පැවැති සැමරුමක දී තම මෝටර් රථ නළාව කපුටු කාක් කාක් රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවේ සැකකාර නීතිඥවරයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.එම්. ප්‍රභාකරන් ඊයේ (14) නියෝග කළේය.
යම් පුද්ගලයෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පෙර නිසි පරිදි නීතිය අධ්‍යයන කරන ලෙස කොටුව පොලිසියට එහි දී මහේස්ත්‍රාත්වරයා දැඩිව අවවාද කර ඇත.
අදාළ නීතිඥවරයා ගාලු මුවදොර පිටියේදී සිය මෝටර් රථයේ නළාව ශබ්ද කර ඇත්තේ, අරගලකරුවන් අත්අඩංගුවට ගනිමින් පොලිසිය ක්‍රියාත්මක කරන අයුතුසහගත ක්‍රියාදාමයට විරෝධය පෑම සඳහා බවත් එලෙස රටේ ජනතාවට රජයකට එරෙහිව විරෝධය දැක්වීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ම තහවුරු කර ඇති බවත් පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
වර්තමාන ජනාධිපතිවරයා මෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විපක්ෂයේ සිටිය දී පැවති රජයන්ට එලෙස විරෝධතා පා ඇති බව ද අධිකරණයට පෙන්වා දී ඇති විත්තියේ නීතිඥවරුන් පොලිසිය සැකකාර නීතිඥවරයාට එරෙහිව නළා හඬවා බාධා කළේ යැයි චෝදනා කරමින් නඩු පැවරීමෙන් ජන ඝෝෂා නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහවුරු කර ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම පොලිසිය උල්ලංඝණය කර ඇතැයි අධිකරණයට පෙන්වා දී ඇත.