රට ම මහා ආහාර අර්බුදයක…! 2015 වී කිලෝ 4000ක් රජයේ ගබඩාවක දිරයි..!

September 6, 2022 at 2:57 pm | by emanisa.lk

අරලගංවිල වී ගබඩාවේ වී කිලෝ ග්‍රෑම් 4000ක් අබලි වී විනාශ වීම සම්බන්ධයෙන් අම්පාර හා පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරුවන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නියෝග කරයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස්ට මෙම නියෝගය ලබා දී ඇත.

ඒ සම්බන්ධයෙන් දින හයක් ඇතුළත වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අම්පාර ප්‍රාදේශීය කළමනාකාරුට නියෝග කර ඇති අතර විමර්ශන කටයුතු අවසන් වන තෙක් මෙම නිලධාරීන් අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පැවසීය.

ගබඩාවේ අබලි බවට පත්ව තිබෙන වී තොගය අම්පාරට අයත් වී තොගයක් බවත්, 2020 දී වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල තිබෙන සියලු පැරණි වී තොග සත්ව ආහාර සඳහා හෝ අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසත් වී අලෙවි මණ්ඩලය සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් දී තිබිණි.

එවැනි තත්ත්වයක් යටතේ අරලගංවිල ගබඩාවක 2015 වසරේ දී මිල දී ගන්නා ලද කිලෝග්‍රෑම් 4000ක පමණ වී තොගයක් නිසි පියවර නොගෙන රඳවාගෙන පවතින්නේ නම් අදාල ප්‍රාදේශීය කළමනාකරුවන් ඊට වග කිව යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම දිවයින පුරා ඇති සියලු ම වී ගබඩා පරීක්ෂා කර එම ගබඩාවල තවමත් පැරණි වී තොග ඇත්දැයි සොයා බලා තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *