අපි ගත් තීන්දුවල ප්‍රතිඵල සාධනීයයි..! තෙල් ඖෂධවලට ඩොලර් තියෙනවා…! උද්ධමනය පාලනය වුණා..! – මහ බැංකු අධිපති…

August 18, 2022 at 8:11 pm | by emanisa.lk

පසුගිය කාලය තුළ ගත් ප්‍රතිපත්තිමය තීරණවල සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

තමන් උපකල්පනය කළ ආකාරයට උද්ධමනය 70%ක් දක්වා ඉහළ නොගිය බව පැවසූ ආචාර්ය වීරසිංහ, ඉදිරියේදී එය තවත් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පසුගිය කාලය තුළ පැවති දැඩි විදේශ විනිමය හිඟය ද යම් ආකාරයකින් සමනය වී ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.

තව ද ආනයනය වියදම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත් අපනයනය ආදායම සතුටුදායක තත්ත්වයක පවතින බවත් ආචාර්ය වීරසිංහ අනාවරණය කළේය.

“අපි දකිනවා අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, ගෑස් සහ ඖෂධ වගේ දේවල්වලට අවශ්‍ය විදේශ විනිමය අපට ප්‍රතිපාදනය කර ගන්න පුළුවන් වෙලා තියෙනවා ගත්ත ප්‍රතිපත්තිවලට අනුව. ආනයනය විදයම සෑහෙන්න වශයෙන් අඩු වෙලා තියෙනවා. අපනයන ආදායම යම් කිසි ආකාරයක සතුටු දායක තත්ත්වයක් තියෙනවා.

කෙටි කාලීන ණය පහසුකම් නැතුවත් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට රටේ මූලික අවශ්‍යතාවලට අවශ්‍ය දේවල් ටික අපේ තියෙන මුදල්වලින් කළමනාකරණය කරගන්න. ඒක ඇත්ත වශයෙන් ම තවත් සාධනීය පියවරක් අපි දකින්නේ ගිය සැරේ එකත් එක්ක සංසන්දනය කරන කොට.

ඔහු පෙන්වා දුන්නේ, බැංකුවල මුදල් ප්‍රසාරණය සෑහෙන මට්ටමකට පාලනය වී ඇති බව ය. ඒ හේතුවෙන් ඉල්ලුම සඳහා ඇති උද්ධමනය යම් ආරකයකින් පාලනය වී ඇති බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, තවමත් උද්ධමනය ඉහළ යැයි පිළිගන්නා බව ත් දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස් ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, නව ඇයවැය සහ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමග පවතින අර්බුදකාරී තත්ත්වය ඉදිරියේදී සෑහෙන දුරට සමනය කර ගැනීමට හැකි වනු ඇතැයි නිරීක්ෂණය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *