විරෝධතාකරුවෝ අගමැති රනිල්ගේ නිවසට ගිනි තබති…!

July 9, 2022 at 10:32 pm | by emanisa.lk

විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

රනිල් වික්‍රමසිංහට පාරම්පරිකව උරුම වූ කෞතුක භාණ්ඩවලින් යුතු මෙම නිවසේ වැඩිපුරම තිබුණේ පොත් පත් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නවීන භාණ්ඩ කිසිවක් එහි නොතිබූ බවත් පැරණි ගෘහ භාණ්ඩ පමණක් තිබූ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගෙබිමට අල්ලා තිබූ ටයිල් පවා නවීන ඒවා නොව පැරණි මැටි ටයිල් විශේෂයක් බව සඳහන් වෙි. අග්‍රාමාත්‍ය ධුරයට හිමි නිල නිවස ලෙස අරලියගහ මන්දිරය තිබූ නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කිසිදු අවස්ථාවක අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර කොළඹ පස්වන පටුමග පිහිටි මෙම නිවසේ ජීවත් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ගිලන්ව සිටින මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මෙම නිවසේ පදිංචිව සිටියහ.

විවිධ සම්ප්‍රදායන්ට අයත් ඉතා පැරණි බුදු පිළිම කිහිපයක්ද මෙම නිවසේ තිබුණු අතර රනිල් වික්‍රමසිංහගේ පුස්තකාලයේ දී තිබූ දුර්ලභ පොත්පත් ඇතැම් විට ලංකාවේ වෙනත් තැනක නොතිබෙන්නට ඇතැයි අග්‍රාමාත්‍යවරයාට සමීප ප්‍රකාශකයෙක් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස