තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් විපක්ෂය විසින් ජනතා අරගලය ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු අවධාරණය කරයි.
රටට එරෙහි එක් කල්ලියක් හෝ පුද්ගලයකු ආරක්ෂා කිරීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපවෙන ලෙස ආරක්ෂක අංශවලින් ද ඉල්ලීමක් කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
දින 5කින් මාස 5 කින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බැවින් තව දුරටත් මේ රටේ ජනතාව රැවටීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයක් බව විපක්ෂ නායකවරයාගේ අදහසයි.
මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බවත් ඉන් මෙහා මේ රට ගොඩනගන බවට කියන කතා නිශ්ඵල බවයි, ඔහු පවසන්නේ.