අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසල දී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට විරෝධයක් එල්ල කළ අතර ඇමැතිවරයා විරෝධතාකරුවන්ට මුහුණ නොදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වාහනයකින් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් පිටව ගියේය.
කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ආහාර භෝග නිෂ්පාදනය ජාතික සංග්‍රාමය හම්බන්තොට දිස්ත්‍රික් වැඩ සටහනට සහභාගී එම උත්සවය අමතද්දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ආ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයෝ මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමැතිවරයාට විරෝධය පල කරමින්, යල් කන්නයේ වගා සඳහා පොහොර ලබාදෙන ලෙස ද, ගොවීන් සඳහා ඉන්ධන ලබාදෙන ලෙස හා මඤ්ඤොක්කා දන්ඩක් හිටවාගෙන කන්න කියා සිදුකල ඇමැතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පලකරමින් පුවරු අතැතිව විරෝධය පලකලහ.
රැස්වීම අවසන් වී ඇමැතිවරයා ප්‍රධාන දොරටුවෙන් පිටව යන තෙක් මාර්ගය අසල විරෝධතාකරුවන් රැඳී සිටි අතර අම්බලන්තොට පොලීසියේ නිළධාරීන් රැසක් ද ආරක්ෂාව සඳහා යොදවා තිබිණි. විරෝධතාකරුවන්ට නොදැනෙන ලෙස ඇමැති මහින්ද අමරවීර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පිටු පස දොරටුවෙන් වෙනත් වාහනයකින් පිටව ගොස් තිබූ අතර නිළ රථය ඉදිරිපස දොරටුවෙන් වෙනත් කිහිප දෙනෙක් සමඟ පිටවනු දුටු විරෝධතාකරුවෝ කියා සිටියේ හම්බන්තොට ගොවීන්ට මුහුණ දීමට බැරි කෘෂිකර්ම ඇමැතිවරයා පිටිපස්සේ දොරෙන් පිටව යෑම පිළිකුල් හා ලැජ්ජා සහගත බවයි.