අන්තර්කාලීන පාලනයක් ගොඩනඟන්නේ නම් එය ඉතා කෙටි කලකට සීමා වී කඩිනම් මැතිවරණයකට යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ජවිපෙ නායකයා පැවැසුවේ මේ රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය වඩාත් විශාල ලෙස ආර්ථික පීඩනයක් දක්වා උග්ර වීමට නියමිත අතර මෙම මතුව තිබෙන දේශපාලන අර්බුදයෙන් මෙම ආර්ථික පීඩනය ලබන මැයි, ජුනි වන විට තීව්ර වන බවය.
එහෙයින් මෙම දේශපාලන අර්බුදය විසඳා ගැනීමකින් තොරව ආර්ථික අර්බුදයට පිළියමක් සෙවිය නොහැකි බව ජවිපෙ දිගින් දිගටම පෙන්වා දුන් බවත් දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟිය හැක්කේ ජනතාවට නව ජනවරමක් හරහා නව පාලනයක් පිහිටුවා ගැනීමට ඉඩ දීමෙන් පමණක් බවත් මන්ත්රිවරයා පැවැසීය. එම නිසා ජනතාවට නව ජනවරමක් සඳහා අවස්ථාව කඩිනමින් ලබාදිය යුතු බවද හෙතෙම පැවැසීය.
කෙසේ වුවත් නව දේශපාලන සංස්කෘතියක් මෙන්ම වංචා දූෂණ නතර කිරීම හා ඔවුන්ට දඬුවම් දෙන පාලනයක් ගොඩනැඟීම සඳහා නව ආර්ථික උපාය මාර්ගයකට රට පත් කිරීමකින් තොරව ලංකාව ගොඩනැඟිය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.