වංචාව දූෂණය නවත්වන්න රටේ නිලධාරී පැලැන්තියෙන් පටන් ගන්න ඕන…! ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි පිං දෙන්න ඕන..! – ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හිමි…

April 17, 2022 at 9:12 am | by emanisa.lk

කොවිඩ් වසංගතයෙන් රට බේරා ගත් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පිං දිය යුතු බව පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවිල සිරි සුනන්දාරාමය යන උභය විහාරාධිපති හා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති, ත්‍රිපිටක විශාරද, ධර්මකීර්ති ශ්‍රී, සද්ධර්ම ශිරෝමණී, ත්‍රිපිටකවාගීශ්වර, ශ්‍රී සද්ධර්ම සේනාපති, ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමි පවසයි.

අද වන විට නවසීලන්තයටත් වඩා හොඳින් ලංකාවේ කොවිඩ් පාලනය වී ඇති බවත් කොවිඩ් වසංගතය තිබුණු බවක් පවා අමතකව ගොස් ඇති බවත් එහිමියෝ පෙන්වා දුන්නේ ඊයේ (16) තංගල්ල කාල්ටන් නිවසේ දී අමාදම් සිසිලස ධර්ම දේශනාව පවත්වමිනි.

“අපේ අගමැතිතුමනි, ඔබතුමාව මම අවුරුදු 52 කට උඩදී ඉඳලයි දන්නේ. ඔබතුමා පළමුවෙන්ම පාර්ලිමේන්තුවට 70 එන වෙලාවේ ඔබතුමා තමයි තරුණම මන්ත්‍රීවරයා. ළාබාලම මන්ත්‍රීවරයා. මම ඒ වෙලාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ළාබාලතම කථිකාචාර්යවරයා. ඒ නිසා අපි අතර බොහෝ විට සම්බන්ධකම් තිබුණා.

සමහර අයට මතක නැතිවුණාට 1971 කැරැල්ල වෙලාවෙදි වැරදිකාරයන්ට වඩා නිවැරදිකාර අහිංසක ළමයිනුත් භික්ෂූන් වහන්සේ 450කට වැඩිය පිරිසකුත් හිර භාරයට අරගෙන තිබුණා. ඔබතුමා තරුණ මන්ත්‍රීවරයා වුණාට අපිට නායකත්වය දීලා මමයි හේන්පිටගෙදර ඤණවංශ හාමුදුරුවොයි ඒ වගේම මහාචාර්ය ඈපාසිංහ ඇතුළු පිරිස සමඟ අගමැතිනි සිරිමාවෝ මැතිනිය හමුවුණා. ඔබතුමාගේ සම්බන්ධතාවය තුළිනුයි අපිට එතුමිය ඒ වෙලාවේ හමුවීමට පුළුවන්කම තිබුණේ.

ඔබතුමත් ඒ වෙලාවේ සහභාගී වෙලා සාකච්ඡාවට හිටියා. මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එවෙලේම ගෙන්නලා, ඔබතුමාගෙන් උපදෙස් අරගෙන එවෙලේම හිරභාරවල ඉන්න නිවැරදි භික්ෂූන් වහන්සේලා නිදහස් කරන්න කටයුතු කළා පමණක් නෙවෙයි, ඒ සියලු දෙනාට ම අවශ්‍ය පහසුකම් සියල්ල මෙන්ම සිවුරු කට්ටල ඔබතුමත් මමත් අපිත් හිරගෙදරට ගිහිල්ලා ඒ හාමුදුරුවරුන්ට දුන්නා.

අගමැතිතුමනි, අපි සතුටු වෙන්න ඕන අද සංඝ තලයේ ඉහළම ඉන්න හාමුදුරුවරු කිහිප දෙනෙකුත් එතැන එදා හිටි බව ඔබතුමයි මමයි දන්නවා. ඒ පින ඉතාම වැදගත් පිනක්. අපි දන්නවා 88 මේ රටේ ඇතිවෙච්ච කලබල වෙලාවෙදිත් ඔබතුමාගේ මූලිකත්වයෙන් ඒ අහිංසක දරුවන්ගේ ජීවිත බේරගත්ත බව. එමෙන්ම සුනාමි වෙලාවෙදි සිදුවෙච්ච අලාභහානි ඔබතුමා කොතෙක් දුරට සකස්කර දුන්නද?

රටට ඉතාමත් අමාරු කාලයක් තියෙන්නේ විවිධ ප්‍රශ්න තුළින්. අපි පිළිගන්න ඕනේ. අපෙත් යම් යම් නිසි කළමනාකරණයක් නොමැති කමින් වෙච්ච දේවලුත් වෙන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තරයේ හැමතැනම මේ ප්‍රශ්නය තියෙනවා. මම ඉන්න අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල පැට්රල් ගැලුමක් ඩොලර් 10 ට විතර ගිහිල්ල තියෙනවා. ලෝකයේ හැමතැනම මේ අමාරුව තියෙනවා. අපි කුඩා රටක් නිසා අපිට මේක ඉතාම බලපානවා. ඒ නිසා අපි ඉක්මනට මේවා හදාගන්න ඕන. ඔබතුමාට එය හදා ගැනීමේ ශක්තිය තියෙනවා.

ඔක්කොමට වඩා ඔබතුමා ඇතුළු අතිගරු ජනාධිපති ගෝඨාභය මැතිතුමාට පින් දෙන්න ඕනේ. වෙන කිසිවක් නෙමෙයි, කොරෝනාවලින් මේ රටේ කොච්චර ජනතාව මැරෙන්න හිටියද. ඒ ජනතාව ඒ මැරීමෙන් නිදහස් කිරීමේ පින ඔබතුමාලට අයිති වෙනවා. මම දන්නේ නැහැ මිනිස්සුන්ට මතක තියෙනවද කියල. මම ඉන්න අමෙරිකාවේ ලක්ෂ ගණන් මිනිස්සු මිලියන ගණන් මිනිස්සු මැරුණා, ලෙඩවුණා. නමුත් මේ රටේ නවසීලන්තයටත් වඩා හොඳ තත්ත්වයකට අද කොරෝනා පාලනය වෙලා තියෙනවා. අද මිනිස්සු දන්නෙත් නැහැ කොරෝනාවක් තිබුණද කියලවත්.

අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි. ශ්‍රී ලාංකිකයෝ ලෝකෙ කොහේ ගියත් පුදුම දක්ෂ මිනිස්සු පිරිසක්. මම නම් දැක්කේ නැහැ මේ තරම් මොලේ තියෙන කට්ටිය. හැබැයි එකට වැඩ කරන්න නම් බැහැ. කණ්ඩායම් වැඩ බැහැ. එකට වැඩ කලොත් අපිට ලෝකයේ කොතරම් හොඳ තත්ත්වයකට එන්න පුළුවන්කම තියෙනවද? ඒ තත්ත්වය හිතන්නේ නැති කමයි තියෙන්නේ. අපි එකට සමගියෙන් වැඩ කරනවා නම් කොතරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයකට එන්න පුළුවන්ද?

අමෙරිකාවේ දේශපාලන පක්ෂ හැටියට බැලුවම පක්ෂ දෙකක් තිබුණට රටේ ප්‍රශ්නයක් ආපුවම ඒගොල්ලො එකට එකතු වෙලයි ඉන්නේ. කවදාවත් ඒ ගොල්ලෝ එක එක්කෙනා විනාශ කරගෙන යන්නේ නැහැ. එකට ඉඳගෙන රට දියුණු කරනවා. පිටරට ගිහින් අනිත් පක්ෂයට විරුද්ධව එක වචනයක් කතා කරන්නේ නැහැ. ඒ නිසයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. අපේ රටවල හරි අවාසනාවක් තියෙන්නෙ. ඇයි අපි මේ විදිහේ දේවල් හිතන්නේ නැත්තේ. දියුණුවන ලෝකයේ හැම දෙනාම ඔය අනන් මනම් බහුබූත ඕපදූප බලන්නේ නැහැ. තමන් කරන අරමුණ කරා ගිහින් දියුණුව ඇතිකර ගන්නවා. දියුණුව කියන එක ඉතා ම අවශ්‍ය දෙයක්.

මේ තියෙන ප්‍රශ්න ඇත්ත . ප්‍රශ්න හැමදාම තියෙන්නේ නැහැනේ ලෝකයේ. ලෝකයේ හැම රටකම කොච්චර වැඩ කළත් වැඩක් නැහැ. මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ. මිනිස්සුන්ට කෑම ටික දෙනවනම් එදිනෙදා අවශ්‍යතාවන් තියෙනවනම් ප්‍රශ්න අමතකයි. එහෙම නැති වුණාම තමයි කරදර හිරිහැර ලෙඩ වගේම අර කණ්ඩායම් මේ කණ්ඩායමේ හැම අයම එන්නේ.
ලෝකයේ හැම රටකම නාස්තිය දූෂණය තියෙනවා.

ඒක නැතිකරන්න නිලධාරී පන්තියෙන්ම පටන් ගන්න ඕනේ. දේශපාලකයන්ටම දොස් කියල ම බැහැ. දේශපාලකයිනුත් වග කියන්න ඕනේ. නාස්තිය දූෂණය අඩු කළොත්, නැති කළොත් අපේ රටත් දියුණු කරන්න පුළුවන්. අපි අවංකවම පිළිගන්න ඕනේ මේ රටවල තියෙනව නාස්තිය දූෂණය. ඒක වළක්වන්න ඉතාම අමාරුකම් තියෙනවා. නමුත් වළක්වන්න බැරිකමක් නැහැ. ඒත් ඒ කටයුත්තට ඔබතුමාට ශක්තිය ලැබේවා!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස