සිංහල, දෙමළ හා මුස්ලිම් සෑම ජන කොටසකට ම විශාල හිරිහැරයක් වී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන තුරු දෙමළ ජාතීන්ගේ අරගලය නොනවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරණ ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය මේ දිනවල අත්සන් තබන පෙත්සම පිළිබඳ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජාති ආගම් භේදයකින් තොරව සියලු ම ජනතාවට එරෙහිව ක්‍රියාවට නංවන තත්ත්වයකට රට පත්ව තිබෙනවා. ඒ නිසා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ අපේ අරගලය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අවසන් වනතුරු අඛණ්ඩව පවතිනවා.
මේ අරගලය සඳහා මේ වන විට දෙමළ ජනතාවගේ පමණක් නොවෙයි, අනෙක් සියලුම ජන කොටස්වල සහායද ලැබෙමින් පවතිනවා. පසුගිය රජයේ පාලන සමයේ දී මේ පනත අහෝසි කිරීමට කටයුතු සූදානම් කර තිබුණද පාස්කු ප්‍රහාරයත් සමඟ එය නතර වුණා.
නමුත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් මේ පනත ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා රජයට නිර්දේශ ඉදිරිපත් වූයේ මීට වසර ගණනාවකට පෙරයි. එම නිර්දේශයට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කෙටුම්පතක් ඉදිරිපත් කළ නමුත් එහි දෝෂ හා අඩු ලුහුඩුකම් ගණනාවක්ම තිබුණා.
අප ඒ පිළිබඳ අදහස් දැක් වූ අවස්ථාවේදී යළිත් සංශෝධනයන් ඉදිරිපත් කරණ බවට ප්‍රකාශ වූවත් එවැන්නක් සිදු වූයේ නෑ. මේ තත්ත්වය නිසා දැන් සියලුම දෙනා මේ පනත හේතුවෙන් පීඩා විඳිනවා.”