ආණ්ඩුවෙන් එළියට බහින්න අපි සූදානම්.! වැඩ කරල විතරක් දිනන්න පුළුවන් නම් 2015 දිනන්නේ මහින්ද..! – දයාසිරි..

February 28, 2022 at 6:34 am | by emanisa.lk

පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

“සමහර අය විවිධ මත පළ කරනවා. සමහර අය කියනවා ආණ්ඩුවෙන් අයින් වෙන්න ඕනෙ කියලා. සමහර අය කියනවා නෑ නෑ ආණ්ඩුවෙ ඉන්න ඕනෙ කියලා. මෙහෙම මත දෙක තුනක් අපි අතර තියෙනවා. අපේ වැඩපිළිවෙළ හරියට ශක්තිමත්ව ගම ඇතුළෙ ගෙනියන්න, අපේ ක්‍රියාදාමය හරියට ගම ඇතුළෙ ශක්තිමත් කරන්න, පක්ෂ සංවිධාන ශක්තිමත් කරන්න අවශ්‍ය වෙලාවක ඕනෙම මොහොතක එළියට බැහැලා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඇතිව ආණ්ඩුවෙන් බැහැලා එළියට යන්න අපේ කිසිදු පැකිළීමක් නැහැයි කියන එක සියලු දෙනාට මම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. ඒක මධ්‍යම කාරක සභාවත් එක්ක තමුන්නාන්සෙලා අපි ඔක්කොම එකතුවෙලා ගන්න ඕනෙ තීන්දුවක්.

එනිසා මේ ක්‍රියාවලියේදී අපි මේ ආණ්ඩුවට හයිය දීලා තියෙනවා වගේම අපට දෙන්න පුළුවන් හයිය මේ ගම්වලට ලබලා දීලා තියෙනවා පුළුවන් විදියට. ආණ්ඩුවක හිටියා කියලා මහා ලොකු වැඩපිළිවෙළක් අපට ලබලා දීලා නැහැ. මහාමාර්ග හැදෙනවා අනිත් දිස්ත්‍රික්කවල, නමුත් අපේ හිටපු ජනාධිපතිතුමාටත් මටත් කිලෝමීටර් තියා මීටර් 10ක්වත් දීලා නෑ. එනිසා කලබල වෙන්න එපා.

වැඩ කරලාම විතරක් දිනන්න බෑ, මතක තියාගන්න. එහෙනම් 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ මහත්තයා පරදින්නෙ නෑ. ඇයි තමුන්නාන්සෙලා 2015 මෛත්‍රීපාල මහත්තයාව දිනෙව්වෙ ? ඒ අවුරුද්දෙ 2014 මිලියන ගණන් ආසනවලට බෙදුවා, ගම්පහ දිස්ත්‍රික්කයේ නියරවල් උඩිනුත් කාපට් දැම්මා, ඒත් ගම්පහ දිස්ත්‍රික්කය ඡන්ද 15000කින් පරාදයි. එනිසා මතක තියාගන්න සංවර්ධනය මතින් පමණක් රටේ ජනබලය ලබාගන්න බෑ, ඊට වැඩිය දේශපාලන බලය ශක්තිමත් කළ යුතුයි, ඒක හොඳට මතක තියාගන්න”

දයාසිරි ජයසේකර මේ බව පැවසුවේ “පන්නරය හරි අතට” මැයෙන් ඊයේ (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොලොන්නරුව දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස