සිය පාලන කාලය තුළ මේ රටේ ජනතාව කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඉතා ම සතුටින් ජීවත් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
“මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසි දෙයක් තිබුණේ නැහැ. රටේ ජනතාව ඉතා ම සතුටින් හොඳින් ජීවත් වුණා.
මගේ අවුරුදු 05 දී උතුරේ ජනතාවට විශාල වැඩ කොටසක් කළා. උතුරු නැගෙනහිරට ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරලා උතුරු නැගෙනහිර වෙනම වැඩ කොටසක් කළා. මේ රටේ සංවර්ධනය දකුණට විතරක් සීමා වෙලා තිබුනේ, 2015 මගේ ජයග්‍රහණයෙන් මේ රටේ සියලු ම පක්ෂවල දේශපාලඥයින්ගේ ඇස් ඇරුණා.
ඊට පස්සේ තමයි හැම දේශපාලන නායකයෙකුටම හිතුනේ උතුරු නැගෙනහිර ජනතාවටත් දකුණේ ජනතාවට වගේ ම සංවර්ධනයට අත දෙන්න ඕන කියලා. උතුරේ ජනතාව කෘෂිකර්මාන්තයට දක්ෂයි. මේ උතුරේ යාපනයේ ගොවි ජනතාවත් එක්ක රටේ අනෙක් අයට හැප්පෙන්න බෑ, දක්ෂම ගොවියෝ ඉන්නේ උතුරේ විශේෂයෙන්ම යාපනයේ .
අපි දන්නවා තමුන්නාන්සේලාට අද ප්‍රශ්න රාශියක් තියෙනවා, ඒ ප්‍රශ්න මුළු රටේ ම ජනතාවට තියෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා, රටේ කෘෂිකර්මාන්තයේ ලොකු අර්බුදයක් තියෙනවා, ගොවි ජනතාවට වැඩ කරන්න පොහොර නෑ, ඒ නිසා කෘෂිකර්මාන්තය ලොකු පහත වැටීමකට ලක් වෙලා තියෙනවා. අපි ඉතා ම කනගාටු වෙනවා ඒ තත්ත්වය ඇති වී තිබීම ගැන.
මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසි දෙයක් තිබුණේ නැහැ. රටේ ජනතාව ඉතා ම සතුටින් හොඳින් ජීවත් වුණා. බඩු මිළ පහත වැටිලා තිබුණා, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් හොඳ සබඳතා ඇති කර ගෙන තිබුණා.මුළු ලෝකයේ ම රාජ්‍යය නායකයින් සියලු දෙනාම මම මිත්‍ර කර ගෙන තිබුණා. ඒ නිසා මේ රට කරන්න ලෝකයේ සියලුම නායකයෝ මට සහය දුන්නා. මම සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලු ජාතීන් අතර සමඟිය ගොඩනැගීමට විශාල වැඩ කොටසක් කළා.”
යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවට සහභාගී වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.