ජනපති පත් කළ ලේකම් සමග ලාන්සා ගැටේ…! ඇමැතිකම අතහැර ගෙදර යන්න තීන්දුයි..!

February 16, 2022 at 9:33 am | by emanisa.lk

සිය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම සම්බන්ධයෙන් උරණ වූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා සිය ඇමැති ධුරයෙන් ඉවත්වීමට ඊයේ (15) තීරණය කර ඇත.

මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (16) හමු වී කරුණු පැහැදිලි කිරීමට රාජ්‍ය ඇමැතිවරයා තීරණය කර ඇත. 2021 වර්ෂයේ මෙම රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 35ක මුදලක් අයවැය මගින් වෙන් කර තිබුණි. 2022 වර්ෂයේ දී වෙන් කළ මුදල රුපියල් බිලියන දහයකි.

පසුගිය වසරේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට මුදල් ගෙවීම සහ මෙම වසරේ මුදල් වැය කිරීම පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයා සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ (15) පෙරවරුවේ මත ගැටුමක් ඇති වී තිබේ. ඉන් පසු රාජ්‍ය ඇමැතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත්තේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කර ගන්නා ලෙසයි.

මේ පිළිබඳව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් රාජ්‍ය ඇමැතිවරයා සමග දුරකතන මාර්ගයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත කිරීමේ අවස්ථාවට ද රාජ්‍ය ඇමැතිවරයා සහභාගි වීමෙන් වැළැකී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *