(අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා පිළිබඳ ශෝකය පළ කිරීමේ අවස්ථාවට එකතු වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සංවිධානයේ සභාපති ගරු ගෙවිඳු කුමාරතුංග මැතිතුමා සිදුකළ දේශනය.)
ගරු මංගල සමරවීර මැතිතුමා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ අවස්ථාවට සහභාගී වීමට මිස අදහස් දැක්වීමට මම බලාපොරොත්තු නොවුණෙමි. එහෙත් මේ ගරු සභාවේ ප්‍රකාශිත අදහස් දැක්වීම් අසා සිටින විට එතුමාගේ දේශපාලන ජීවිතයේ ඉතා වැදගත් අංගයක්, අද අපේ රට ඉකිබිඳිමින් ඉල්ලා සිටින අංගයක්, ගැඹුරින් අවධාරණය නොකෙරුණු බව හැඟී ගිය බැවින් මේ රටේ ජනතාවගේ අවධානය ඒ පිළිබඳ යොමු නොකෙරුණා යැයි දැනුණු බැවින් මෙම කෙටි අදහස් දැක්වීම සිදුකිරීමට තීන්දු කළෙමි.
මංගල සමරවීර මහතා මට මුණ ගැසෙන්නේ මගේ පාර්ලිමේන්තු ජීවිතයට සාපේක්ෂව ඉතා ඈත අතීතයකයි. ඒ 1987-89 භීෂණ සමය අග භාගයේ දී එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ‘මව් පෙරමුණ’ සංවිධානය කරන අවස්ථවේ දී ය. මංගල සමරවීර මහතාගේ ආරාධනය පරිදි මව් පෙරමුණු ආරම්භක සමුළුවට පැමිණ ඊට සහභාගී වූ මව්වරුන් හා කතාබස් කොට ඔවුන්ට අහිමි වූ දරුවන් පිළිබඳව, සුත නිපාතයේ අදහසක් පදනම් කරගත් “පුතු සෙනේ මස් නහර හම සිඳ, ඇට සොයා ගොස් ඇට තුළට වැද, ඇට මිදුලු තුළ රඳා සිට, දුක් දෙයි නිබන්දා” යන සිංහබාහු නාට්‍යයේ පාඨය තේමා කරගත් සිරස්තලයක් සහිතව ලක්මිණ පුවත්පතට ලිපියක් ලී බව මට මතකය.
ඉන් පසුව ඒ මර්දනීය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කර ප්රගතිශීලී ආණ්ඩුවක් ගොඩනැඟීමට මංගල සමරවීර මැතිතුමාගේ මැදිහත්වීමෙන් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රොස්මිඩ් පෙදෙස නිවසේ පැවැති සාකච්ඡාවකට ද සහභාගී වුණෙමි. එහෙත් මා ජාතිකත්වය මත මේ රටේ අනාගතය ගොඩනැඟිය යුතු යැයි තදබල ලෙස විශ්වාස කරන නිසාත් එතුමාගේ අදහස් සහ එම අදහස් නොගැළපුණු නිසාත් මම ඒ සාකච්ඡාවලින් ඉවත් වුණෙමි. කෙසේ වුව ද එක්සත් ජාතික පක්ෂ රජය පරාජය කොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට මුල් වූයේ ද මංගල සමරවීර මැතිතුමාගේ මූලිකත්වයෙන් සිදු වූ ක්‍රියාදාමය බව සිහිපත් කරමි.
අද මංගල සමරවීර මැතිතුමා පිළිබඳ කතා කිරීමේ දී අවධාරණය නොකෙරුණා යැයි මට හැඟුණු ඒ තේමාව කුමක් ද? අප වැනි අවංකව රටට ආදරේ කරන පිරිස් දේශපාලනයෙන් දුරස් කර තබන තේමාව, ගැටලුවකට මංගල සමරවීර මැතිතුමා දේශපාලන ජීවිතය පුරා සිය ක්‍රියාවෙන් පිළිතුරු දුන් ඒ තේමාව කුමක් ද? ඒ අන් කිසිවක් නොව දේශපාලනඥයා ඒ පක්ෂයේ වේවා, මේ පක්ෂයේ වේවා දූෂිතයෙකි යන පොදු සමාජ පිළිගැනීම එතුමා දේශපාලන භාවිතය තුළ බොරුවක් කොට දැක්වීමයි. මේ දූෂිත දේශපාලන සමාජය තුළත් අවංකව දූෂණයෙන් තොරව හොරකමින් තොරව දේශපාලනය කිරීම පිළිබඳ ලබා දුන් දුර්ලභ ආදර්ශයයි.
මංගල සමරවීර මැතිතුමාගේ දේශපාලනය හැම විට ම හෙළා දුටු රේගුවේ රැකියාව කළ මගේ සරසවි මිතුරෙකු, එතුමා මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහු පිළිබඳ ප්‍රසාදයෙන් කතා කරනු ඇසීම මට පුදුමයට කරුණක් විය. මා ඒ පිළිබඳ විමසූ විට “නෑ ගෙවිඳු, මොන අදහස් දැරුවත් එතුමා හොරකම් කරන්නෑනේ” යන්න ඔහුගේ ප්‍රතිචාරය විය. සියලු දේශපාලනඥයින්ට පක්ෂ භේදයකින් තොරව දූෂණ චෝදනා එල්ල වන පසුබිමක, 225 දෙනා ම හොරු යැයි කියන යුගයක, පිරිසිදු දේශපාලනඥයකු පිළිබඳ ආදර්ශයක් තැබීමට හැකි වීම එතුමාගේ සුවිශේෂ ජයග්‍රහණයකි. සුවිශේෂ ආදර්ශයකි. අදත් තරුණ ප්‍රජාව අතර හොරුන් දූෂිතයින් යන චෝදනාවට ලක් නොවී දේශපාලනය කළ හැකිය යන ආදර්ශය මොනතරම් වටී ද?
අද මේ සොරකමින් තොර දේශපාලනය, දූෂණයෙන් තොර දේශපාලනය ඉල්ලා අපගේ මව්බිම ඉකිගසා හඬන මොහොතක් බව අප සියලු දෙනා පිළිගත යුතුව තිබෙනවා. වසර 30ක් පුරා මේ රටට මහත් ව්‍යවසනයක් වූ ත්‍රස්තවාදය පරාජය කළ, රට ශීඝ්‍ර සංවර්ධන මාවතකට යොමු කළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය 2015 පරාජය සඳහා මූලික හේතුව වූයේ හොරකම පිළිබඳ දූෂණ පිළිබඳ චෝදනා බව අප කවුරුත් දන්නා කරුණක්. එම චෝදනා පදනම් කරගෙන බලයට ආ යහපාලන ආණ්ඩුව සිය මුල් දින 100 ගතවීමටත් පෙර මහ බැංකුව මංකොල්ලකෑම මොන තරම් අභාග්‍යයක් ද? දැන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයටත්, අපගේ රජයටත් දූෂණ චෝදනා නැඟෙමින් පවතී. ඒ චෝදනා බරපතළ ලෙස අපි සලකන්නේ ද? ඒ චෝදනා පිළිබඳ විනිවිදභාවයෙන් යුතුව අප සොයා බලන්නේ ද?
මා වැදගත් කොට සැලකුවේ ජාතික ප්‍රතිපත්ති. එහෙත් අද අපගේ සමාජ දේහය සෑම තරාතිරකම පැතිර ඇති දූෂණයට අල්ලසට හොරකමට විරුද්ධව කෙරෙන අරගලයකින් තොරව මේ මව්බිම ඉහළට ඔසවා තැබිය නොහැකි බව අප හමුවේ පෙනෙන යථාර්ථය නොවෙද? එහි දී මංගල සමරවීර මැතිතුමා අප හමුවේ දිදුලන ආදර්ශයක් ලබා දී ඇති බව සිහිපත් කරන්නේ ගෞරවයෙන්. මේ ආදර්ශය වෙනුවෙන් එතුමාට හිස නමා ආචාර කරමින් එතුමාගේ ඥාතීන්ට අපගේ යුතුකම සංවිධානයේ ශෝකය ද පිරිනමමි. බොහොම පිං!
Media Unit