රටේ ඩොලර් හිඟය උග්‍ර කළ කුමන්ත්‍රණය සුලමුල හෙළි වෙයි…! ඩොලර් මළු ගණනින් රහසේ ම රටින් පිට කරලා..!

February 1, 2022 at 8:46 am | by emanisa.lk

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මේ රටේ පවතින ඇමරිකානු ඩොලර් විදෙස් රටවලට යැවීමේ මහා පරිමාණ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකරගෙන තිබේ.

මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (31) දැනුම් දුන්නේය.

රුපියල් කෝටි 25කට අධික වටිනාකමින් යුත් ඇමරිකානු ඩොලර් ලක්ෂ දොළහකට අධික නෝට්ටු වංචනික ලෙස විදෙස් රටවලට ප්‍රේෂණය කරන ලදැයි කියන සිද්ධියකට අදාළ පැමිණිල්ලක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් හා බැරකම් කොට්ඨාස එම දැනුම්දීම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය. රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී. රවිප්‍රිය කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර තිබිණි.

විවිධ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කොළඹ පිහිටි වෙළෙඳසල්වල නාමයන් සඳහන් කරමින් ලංකාවේ පවතින ඇමරිකානු ඩොලර් විදෙස් රටවලට යවනු ලැබුව ද අදාළ සැකකරුවන් මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය කර නැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව අදාළ ඇමරිකානු ඩොලර්වලට කුමක් සිදු වූයේ ද යන්න සෙවීමට මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් පවත්වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස