ලොව පුරා රටවල් 194 ක් අතරින් කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
රටේ සාර්ථක එන්නත්කරණය තුළින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබා දී ඇති බවත්, එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළ ම ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව ඖෂධ කර්මාන්තශාලා 03 ක් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
උපරිම එන්නත්කරණය තුළින් රටේ ජනතාව ජීවිත අවධානමෙන් බේරා ගැනීම රජයේ ඉලක්කය බවත්, මේ වන විට වසරක් තුළ තෙවන එන්නත කරා යාමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.