සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ඇසීමෙන් තමාට කනගාටුවක් ඇතිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව එවැනි තීරණ ගැනීමේ අයිතියක් ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (4) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කළේ රජය ගත් තීරණ විවේචනය කළ නිසා දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කළ අතර, එහි දී ඇමතිවරයා පැවසුවේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් රජය ගත් තීන්දුවක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියකට පවා ගොස් ඇති බවත්, මෙතරම් පුළුල් විවේචන සහිතව ක්‍රියාත්මක වන ඇමති මණ්ඩලයක් මීට පෙර තිබී නැති බවත්ය.
තම මිත්‍රයෙක් වන සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව දැනගත් විට ක්‍ෂණික කනගාටුවක් ඇතිවූ බව හෙතෙම කීය.
මෙය පක්‍ෂ අභ්‍යන්තරයේ හෝ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර ගත් තීන්දුවක් නොවන නිසා එයට හේතුව නොදන්නා බව ද ඇමතිවරයා පැවසීය.