මෙරට තේ ඉරානයට අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය Alireza Paymanpakගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යංශයේ දී සිදුවිය.
2016 වසර වන විට ඉරාන වෙළඳපොළේ සියයට 47ක් පමණ හිමි කරගෙන සිටි ලංකා තේ කර්මාන්තය, 2020 වසර වන විට සියයට 25 දක්වා පහත වැටුණි.
වර්ෂ 2012 නොවැම්බර් මස ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාධක පැනවීමත් සමඟ බැංකු පද්ධතිය හරහා මුදල් ගෙවීමට පිළිගත් යාන්ත්‍රණයක් නොමැතිවිය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ට ඉරාන ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබා ගැනීම අපහසුවිය. මේ හේතුවෙන් වර්තමානය වන විට අතරමැදි රටවල් හරහා ගෙවීම් සිදුවන අතර එය ද බොහෝ බාධාකාරී තත්ත්වයන් ඇති කරයි.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම මගින් ලංකා තේ වැඩි වශයෙන් ඉරානයට අපනයනය කිරීමට හැකියාව ලැබෙන අතර එමඟින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (cpc) විසින් ජාතික ඉරාන තෙල් සමාගමට (NIOC) ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් 250,925,169 ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමට ද මෙම අවබෝධතා ගිවිසුම මගින් යෝජනාකර ඇත.
එම ණය මුදල් රුපියල්වලින් ගෙවීමට ද මෙමගින් යෝජනා වී ඇති බැවින් මෙම ක්‍රියාවලිය හරහා මෙරට තුළ විදේශ මුදල් ඉතිරි කෙරෙනු ඇත.
මෙහි දී අදහස් දක්වමින් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේ පසුගිය දශක කිහිපය තුල ලංකා තේ මිල දී ගත් ප්‍රධාන රටවල් පහ අතර ඉරානය ද සිටින බවයි. එමෙන්ම මෙරට තේ කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ඉරානය සෑම මොහොතකදීම නිර්ලෝභීව උදවුකළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉතා උසස් ගුණාත්මක බවින් වැඩි තේ අපනයනය කිරීමෙන් මෙරටට වැඩි වශයෙන් විදේශ විනිමය උපයාගත හැකි බව ද ඇමැති රමේෂ් පතිරණ පෙන්වා දුන්නේ ය. එවැනි උසස් ගුණාත්මක තේ අස්වැන්නක් ලබාගැනීමට සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දැනුම සමඟ තේ වගා කිරීමට ජනතාව පෙළඹිය යුතු බව කී අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම තම අමාත්‍යංශය හරහා සිදු කරන බව ද සඳහන් කළේය. එමෙන්ම තේ වගාවට කැමැති ඕනෑම අයකුට ලබන වසරේ දී තේ පැල නොමිලයේ ලබාදීමට තම අමාත්‍යංශය වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.
කනක හේරත්, තාරක බාලසූරිය යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ, වැවිලි අමාත්‍යංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවසම්, රාජ්‍ය අමාත්‍යංශ 4ලේකම්වරුන්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ,ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂිකා (ප්‍රචාරණ) පවිත්‍රි පීරිස් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.