ආණ්ඩුව හීනෙන් නැගිටලා, තාප්පවල චිත්‍ර ඇන්ද අය හොයනවා…! – සජිත්…

November 4, 2021 at 8:46 am | by emanisa.lk

තාප්ප පුරා චිත්‍ර ඇඳපු තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමේ සිටිනවා ද කියා සොයා බලන්නට පාලකයින්ගේ ඇස් ඇරී තිබෙන්නේ දැන්ද කියා ආණ්ඩුවෙන් විමසා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (03) කෑගල්ලේදී පැවැසීය.

රටේ උතුර දකුණ නැගෙනහිර කොටස් වශයෙන් විකුණා දමන්නට කැබිනට් පත්‍රිකා අනුමත කරන විට ඇස් කන් පියාගෙන සිටි ආණ්ඩුවේ උදවිය දැන් සිහිනෙන් අවදි වී ඇතැයිද විපක්ෂ නායකවරයා පැවැසුවේය. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් විසින් කෑගල්ල නගරයේ සංවිධානය කරනු ලද විරෝධතාවට එක් වෙමින් ඔහු මේ බව කීවේය.

ආණ්ඩුව යන ගමන වැරදි බව ආණ්ඩුවේ සිටියදීම දන්නවා නම් තනතුරු තාන්න මාන්න තබාගෙන ආණ්ඩුවට වී නොසිට එළියට බැස ජනතා අරගලයට එක් එක් වන ලෙස ද විපක්ෂ නායකවරයා මැති ඇමැතිවරුන්ට ආරාධනා කළේය.

මේ වනවිට සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ආණ්ඩුව චෝදනා එල්ල කරන බව පැවසූ විපක්ෂ නායකවරයා අත්තනෝමතික පළිගැනීම්වලට එරෙහිව මුළු රටේම ජනතාව එකට සිට ගන්නා බවද පැවැසීය. සත්‍ය කතා කරන පියතුමන්ලා දඩයම් කිරීමත්, ඇත්ත වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන්ට එරෙහිව ආණ්ඩුවේ අවි එසවීමත් වහාම නතර කළ යුතු බව පැවසූ හෙතෙම මර්දනයට එරෙහිව කොන්දේසි විරහිතව තමන් කටයුතු කරන බවද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස