සහල් ආනයනය නොකරනු…! සහල් මිල ඉහළ දමනු…! නැත්නම් නිෂ්පාදනයෙන් ඉවත් වෙනවා…! – සහල් නිෂ්පාදන සංගම්….

September 27, 2021 at 9:43 am | by emanisa.lk

රජය ගැසට් නිවේදනයක් මගින් සහල් සඳහා පනවා ඇති මිල ඉහළ දැමීමට කටයුතු නොකරන්නේ නම් මෙරට සියලුම සහල් නිෂ්පාදකයින්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම පවසයි.

“අපි බලාපොරොත්තු වුණා පසුගිය සතියේ ජීවන වියදම් කමිටුවේදී සහල් සඳහා යම් මිලක් වැඩිකරයි කියලා. හැබැයි ආණ්ඩුවෙන් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් මේ වෙනකොටත් අරගෙන නෑ. එතකොට ඉදිරියේදී අපට ලොකු ගැටළුවකට, ප්‍රශ්නයකට මුහුණ පාන්නට වෙනවා ගොවියාට සාධාරණ මිලක් වී සඳහා ලබාදීමටත් ඒවගේම ලංකාවේ සිටින සියලුම නිෂ්පාදකයින්ට – සුළු, මධ්‍යම පරිමාණ, මහා පරිමාණ සියලුම සහල් නිෂ්පාදකයින්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වෙන්න වෙන තත්ත්වයක් තමයි අද මේ නිර්මාණය වෙලා තියෙන්නෙ.

කෘතීමව මේ සහල් මිල පාලනය කරන්න යන එක සහ මේ හදිසි නීතිය යටතේ සහල් මිල පාලනය කරන්න යන රජයේ ඒ ප්‍රයත්නය ඉතාමත්ම අසාර්ථක ප්‍රයත්නයක්. අපි කියන්නෙ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් විදියට අනෙක් සියලුම භාණ්ඩවල මිල වැඩිවෙනවා නම් හාල්වල මිලත් වැඩිවෙන්න ඕනෙ”

රටේ වී තිබිය දී සහල් ආනයනය සඳහා කටයුතු නොකරන ලෙස ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා අවධාරණය කරයි.

“ලංකාව ඇතුළෙ වී තියෙද්දී සහල් ආනයනයකට සැරසෙන්න එපා. දවසකට ලංකාව ඇතුළෙ වී කිලෝ කෝටියක් සහල් බවට පත්වෙන්න ඕනෙ. තවත් මාස පහකට පමණ ප්‍රමාණවත් තරම් වී තොග ලංකාව ඇතුළෙ තියෙනවා. රජය සතුව නම් තියෙන්නෙ අපි දන්න විදියට තවත් සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 50ක්, ඒ කියන්නෙ දවසක්වත් කන්න දෙන්න ආණ්ඩුව ගාව හාල් නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ ඒකයි වෙළඳපොලේ තියෙන, භූමියේ තියෙන මිල ලබාදීලා මේ අර්බුදය නිමාවට පත් කරමු කියන එකයි.

ගිය කන්නේ වී ටික විකුණපු මිලට මේ කන්නේ වී ටික විකුණන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න කියලා විතරයි ගොවියො ඉල්ලන්නෙ. ගොවියා කියන්නෙ පහුගිය කන්නෙ ලැබිච්ච මිල දෙන්න කියලා, සහල් නිෂ්පාදකයො විදියට අපි කියන්නෙ අපට පාඩු විඳින්න බැහැ, අපට සාධාරණ ලාබයක් ලබාදෙන විදියට ගැසට් නිවේදනයක් පළ කරන්නය කියලා”

ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය මේ බව පැවසුවේ ඊයේ (26) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *