දේශීය වෙදකම සහ ආයුර්වේදය ජාත්‍යන්තරයත් ජයගත හැකි මට්ටමට දියුණු කරනවා…! – අගමැති…

September 4, 2021 at 8:35 pm | by emanisa.lk

පර්යේෂණ ප්‍රතිඵල ලොව හමුවේ තබමින් දේශීය වෙදකම සහ ආයුර්වේදයේ ප්‍රමිතිය සකස් කරන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) දින පැවසීය.

මොණරාගල, සිරිගල රාජපුර ආයුර්වේද රෝහල විවෘත කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

“දොස්තර මහත්තයා ගමට එන්න කලින් එදා ගම්වල වෙද මහත්තයෙක් හිටියා. ඕන ලෙඩකට දුකකට එදා පිහිටට හිටියෙ ගමේ වෙද මහත්තයා. අදත් සමහර ගම්වල ඒ වෙද පරම්පරාවේ ඉදිරියට ආපු වෙදමහත්වරු ඉන්නවා. ඒ වගේම එතැනින් තවත් ඉදිරියට ගියපු ආයුර්වේද වෛද්‍යවරුන් ඉන්නවා.

දේශීය වෙදකම ප්‍රවර්ධනය කරන්න වෙනම රාජ්‍ය අමාත්‍යංශයක් පවා හඳුන්වලා දෙන්න අපි කටයුතු කළේ මෙහි තියෙන වැදගත්කම කල් තියා දැනගෙන. අපි දන්න විධියට ඒ අමාත්‍යංශය දේශීය සහ ආයුර්වේද වෙදකමට ලියාපදිංචි වුණ වෛද්‍යවරුන් විසි දහසක පමණ තොරතුරු දැන් අන්තර්ජාලයට යොමු කරලා තියෙනවා.

දේශීය හා ආයුර්වේද වෙදකම මේ කාලේ ලොව පුරා ජනප්‍රිය වෙමින් යනවා. අපි එයින් උපරිම ප්‍රයෝජන ගන්න නම් දැන්ම තියලා ඊට සූදානම් වෙන්න ඕනි. අපි දන්නවා, පාකින්සන්, ආඝාත වැනි ස්නායු රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ගෝලීය වශයෙන් පිළිගන්නා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයක් අපේ රටේ බිහිකරන්නත් දැනට සැලසුම් කරලා අවසන්.

ඖෂධීය ගහ කොළ යොදාගෙන වසෙන් විසෙන් තොරව නිෂ්පාදනය කරන ආහාර වර්ග , ඖෂධ වර්ග සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහාත් ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් තිබෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. එම ඉල්ලුම අපිට ජයගන්න පුළුවන්නම් එය රටේ ආර්ථිකයටත් විශාල හයියක්.

ඒ වගේම දේශීය වෙදකම, ආයුර්වේදය ආශ්‍රිත පර්යේෂණ දියුණ කරන්න. ඒවායේ ප්‍රතිඵල ලෝකයට කියන්න ක්‍රමයක් සකස් කරන්නැයි අපි අදාළ නිලධාරින්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා වෙනදා දක්නට නොමැති ප්‍රමිතියක් මේ හැමදේකම දකින්න ලැබෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස