වැටුණු ආර්ථිකේ ගොඩගන්න බැසිල් නැතිව බෑ…! – දිළුම් අමුණුගම…

June 26, 2021 at 9:59 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බිඳ වැටී ඇති ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය අතිශය වැදගත් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ දක්වා ආණ්ඩුවට පිටතින් සිටිමින් ඔහු අවශ්‍ය උපරිම සහයෝගය ලබා දුන් බවත්, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම හරහා ඊට වැඩි සහයෝගයක් ලබාදිය හැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විටම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුව තිබූ බවත්, කෙසේ නමුත් ඔහු පක්ෂය ශක්තිමත් කරමින් පිටත සිට සහයෝගය ලබාදීමට තීරණය කළ බවත් ඇමැති අමුණුගම පවසයි.

මීට පෙර බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස රටට විශාල සේවයක් කළ බවත්, එම සේවය යළිත් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවත් ඔහු පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පක්ෂයේ සියලු දෙනාගේ ඉල්ලීම සහ ආශිර්වාදය මත බව ද දිලුම් අමුණුගම අද (26) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *