සෞඛ්‍ය ඇමැතිනියගේ සමීපතමයෙකු එන්නත්කරණ ජාවාරමක ද?

May 21, 2021 at 11:49 pm | by emanisa.lk

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් පිළිබඳ සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චිගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ් – 19 එන්නත්කරණය පිළිබඳව අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කිරීම.

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුර වන බව අපගේ අවධානයට යොමු වී ඇත.

එහිදී එන්නත්කරණ වැඩපිළිවෙළෙහි විශ්වසනීයත්වය බිඳවැටෙන ආකාරයෙන් සහ එම ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බව ඒත්තු ගන්වන අයුරෙන් සමහර වගකීම් රහිත වෙබ් අඩවි අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සමීපතයින් හරහා මුදලට එන්නත් විකිණීමේ ජාවාරමක් පවතින බව හුවා දැක්වීමට සමාජ මාධ්‍ය ජාලා සහ වගකීම් රහිත වෙබ් අඩවි ඔස්සේ සමහර පාර්ශවයන් සිදුකරන ද්වේශ සහගත ප්‍රචාරයන් අප හෙළා දකින අතර එවැනි පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.

නිසි ක්‍රමවේදයක් හරහා සිදුවන එන්නත්කරණ වැඩපිළිවෙළ තුළින් එන්නත් මුදලට ලබාදීමේ හැකියාවක් කිසිසේත්ම නොමැති අතර කිසියම් පාර්ශවයක් විසින් කොවිඩ් – 19 රෝගය පාලනය කිරීම සඳහා වන එන්නත් මුදලට ලබා දෙන්නේ නම් ඒවා ව්‍යාජ එන්නත් වන බව මෙන්ම, එවැනි එන්නත් ලබාගැනීමෙන් වළකින ලෙස මහජනතාවට මෙයින් කාරුණිකව දැනුම් දෙමු.

එලෙසම එවැනි ව්‍යාජ එන්නත් ජාවාරම් සහ එම ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ එන්නත් සඳහා විශ්වසනීයත්වයක් ඇති කිරීමේ පවිටු අරමුණින් යුතුව හිතාමතාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගරු අමාත්‍යතුමියගේ සමීපතයින් ඈඳාගනිමින් අසත්‍ය පුවත් නිර්මාණය කරන සමහර වෙබ් අඩවි පිළිබඳව ද මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ සිදු කරනු ලබන කොවිඩ් – 19 වසංගතය පාලනය සඳහා වූ එන්නත්කරණ වැඩපිළිවෙළට සියලු ම මහ ජනතාවගේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු.

විරාජ් අබේසිංහ
(මාධ්‍ය ලේකම්)
සෞඛ්‍ය අමාත්‍යාංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස