ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගෙන ගොඩනැඟණු ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදුණු නිරූපා සේරසිංහ සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.
මම සාමාන්‍යයෙන් ලියන්නෙ කතා කරන්නෙ “අපි” කියල. ඒ මම හැමවෙලාවෙ ම කණ්ඩායමක කෙනෙක් කියල ඇඟවීමේ පරමාර්ථයෙන්. මට වඩා අපි හයිය බව දැනෙන නිසා.
ඒත් දැන් මම ලියනවා මම කියල.
මට මගේ ජීවත් වීමේ ස්වභාවය සහ රැකියාව නිසාම පුදුම තරම් මිනිස්සු හම්බෙන්නෙ.
ඒ සමහරක් මිනිස්සු මම එකඟ පොදු අදහස් යටපත් කිරීම උදෙසා ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කළ සහ කරන මිනිස්සු. සමහර විට ඊටත් එහාට ගිය දේවල් කරන්න පෙළඹුණ අය. ඒත් ඉතින් මූණට හම්බුනාම අඳුරගන්න ලැබුනම මූණට කෙල ගහන්න යන්නෙ නැහැ මම.
තව පිරිසක් මට හම්බෙනවා. එයාලා මම එකඟ පොදු අදහස වෙනුවෙන්ම තමන්ගේ දේපළ, තමන්ගේ රස්සාව සමහර වෙලාවට තමන්ගේ පෞද්ගලික ආසාවන් පවා පරිත්‍යාග කළ අය. ඒ අයව දැක්කම මම එයාලගේ කකුල් දෙක අල්ලලා වඳින්න යන්නෙත් නෑ මම.
ඊට අමතරව මට මිනිස්සු හම්බෙනවා, ඒවා හුදෙක් හමුවීම් විතරයි.
පාර්ලිමේන්තුවට පස්සේ වැඩිම චෝදනා තියෙන පිරිසක් රැස් වෙන තැන උසාවියේ රස්සාව කරන මට උදේ හවස හම්බෙන මිනිස්සුන්ගෙ දේවල් ඇඟට කාවද්දා නොගැනීමේ හැකියාව උපරිමයෙන් තියෙනවා.
ඒ වගේම මම අදහන පොදු මත අනුන්ගෙ ඔළුවෙ බලෙන් හිටවන්න යන ඔල්මොරොන්දම්කාර වැඩේ මම කරන්නෙත් නෑ. මේ ලෝකේ හැම හමුවීමක්ම දේශපාලන පක්ෂ සාමාජිකයන් අතර හමු නම්, මම කොළඹින් ඡන්ද ලක්ෂ මිලියනයකට එහා ගන්න ඕන.
දේවානි මමයි හමුවීම දේශපාලන හමුවක් වගේ හිතන් උඩ පනින අයගේ පණිවිඩවලට උත්තර දෙන්න කම්මැලි නිසා මෙහෙම කියන්නම්. රට ම කතාවෙන ගෑණියෙක් ඉන්න ගෙයක් ළඟට ම වෙන වැඩකට යන්න වුණ මම වගේ ගෑණියෙක් අර ගෑණිව හම්බෙන්න ආස වීම තේරුම් ගන්න බැරි ඔයාලා මොනාද අනේ ගෑණු ගැන දන්නේ?