පළාත් සභාවලට විරුද්ධ නම් ආණ්ඩුවෙන් යනු….! අපි කොහොමත් පළාත් සභා උඩින් ම දිනනවා…! – ලංසා විමල්ලාට කියයි…

March 16, 2021 at 9:39 am | by emanisa.lk

පළාත් සභා ක්‍රමයට විරුද්ධ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට අකමැති ආණ්ඩුවේ කවුරුන් හෝ සිටින්නේ නම් ඔවුන්ට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී කැමති තීරණයක් ගතහැකි බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසයි.

“පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙරත් කිව්වා පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න ඕනෙ කියන එක තමයි අපේ මතය කියල. ඒ නිසා මේ සඳහා පාර්ලිමේන්තුවේ සංශෝධන කරන්න තියෙනවා නම්, මොනවා හරි පනතක් සම්මත කරගන්න තියෙනවා නම් ඒ කටයුත්ත කරන්න තමයි අපේ බලාපොරොත්තුව. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය තමා මේ සර්වජන ඡන්ද බලය. ඒ ඡන්ද බලය මංකොල්ලකන්න එහෙම නැත්නම් කල්දාන්න කාටවත් ඉඩදෙන්න අපට බෑ.

ඉතින් ඒ නිසා අපි එක්ක යන්න කැමති ඕනෙම පක්ෂයකට අපි එක්ක එකතුවෙලා ඒ ඡන්දය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. කාටහරි ඕනෙ නම් අපි එක්ක පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වෙන්නෙ නෑ, පළාත් සභා ඡන්දය වර්ජනය කරනවා, පළාත් සභා ක්‍රමය ඕනෙ නෑ කියලා පෙනී හිටින්න, ඒකත් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒගොල්ලන්ටත් ඒ සඳහා අපි අවස්ථාව ලබාදෙනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ.

අපි බලහත්කාරකමෙන් කාවවත් අරගෙන මැතිවරණයට යන්න බලාපොරොත්තුවක් නෑ. මොකද මේ රටේ ජනතාවගේ ඡන්ද බලය අපි ලබාදෙන්න ඕනේ. අපට ඡන්දෙ ඉල්ලන්න ඕනෙ තරම් අය ඉන්නවා, මං හිතන්නෙ විශාල ප්‍රමාණයක් ඡන්දෙට ඉල්ලනවා. ජයග්‍රහණය පිළිබඳ අපට ගැටළුවකුත් නෑ. විශාල ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්කම අපට ලැබෙනවා. ඒ නිසා ඕනෙ කෙනෙක්ට පුළුවන් පළාත් සභා ක්‍රමයට විරුද්ධ නම් එහෙම නැත්නම් අපි එක්ක ඉල්ලන්න කැමති නැත්නම් වෙනස් ඕනෙ තීන්දුවක් ගන්න.”

නිමල් ලංසා මේ බව පැවසුවේ ඊයේ (15) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පළාත් සභා ක්‍රමයට විරුද්ධ බවට අදහස් දක්වමින් පළාත් සභා මැතිවරණයට විරෝධය පළ කරමින් සිටින්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ප්‍රමුඛ ආණ්ඩුවේ සුළු පක්ෂ සහ ජාතික සංවිධාන විසිනි. ඇමැති සරත් වීරසේකර ද තමන් පෞද්ගලිකව පළාත් සභා ක්‍රමයට විරුද්ධ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස