වරාය, ගුවන්තොටුපොළ, සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්තිය මෙන් ම යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් වැඩි විදේශ ආයෝජන මෙන්ම සහයෝගිතාව ද ශ්‍රී ලංකාවට ලබා දීමට කැප වී සිටින බව ඉන්දියාව පවසයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පවසන්නේ සමකාලීන ආර්ථික හා වෙනත් අභියෝග ජය ගැනීමට ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බවයි. ඊයේ (26) දිනයට යෙදුණු ඉන්දියාවේ 72 වැනි ජනරජ දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර ඇත.
එසේ පවසන මහ කොමසාරිස්වරයා, කොවිඩ් අභියෝග මධ්‍යයේ වුව ද 2020 සැප්තැම්බර් 26 දින අගමැති මෝදි සහ අගමැති මහින්ද රාජපක්ෂ සහභාගි වූ ද්විපාර්ශ්වික සමුළුව හා නොයෙකුත් ඉහළ පෙළේ සාකච්ඡා මගින් ද දෙපාර්ශ්වය අතර සබඳතාවල වේගය නියමිත පරිදි තබා ගැනීමට රජයන් දෙකට හැකි වූ බව ද සඳහන් කරයි.
කොවිඩ් වසංගතය නිර්මාණය කර ඇති අභියෝගයන්ට මුහුණ දීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකිනෙකාට සහයෝගය ලබා දී ඇති බවත්, එන්නත් ඉක්මනින් ලබා දීම ඇතුළුව ඉදිරි කාලයේ දී මෙම කටයුතු වැඩිදියුණු කිරීමට දෙ රටේ නායකත්වයන් තීරණය කර ඇති බවත් මහ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.
ජලය, සනීපාරක්ෂාව, වෘත්තිය පුහුණුව, අධ්‍යාපනය යනාදි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දිවයින පුරා සංවර්ධන සහයෝගිතාව සඳහා ඉන්දීය රජය අඛණ්ඩව කැපවීම කේන්ද්‍රීය අංගයක් වනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.