අලුත් රටට අලුත් බෙහෙත් සංකල්පය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ෆ්ලුකොෂසිලින් (Flucloxacillin 500 mg)නිපදවීම ආරම්භ කිරීම නිසා වාර්ෂිකව එම බෙහෙත ආනයනය සඳහා වියදම් වූ රු. මිලියන 1000ක් රටේ ඉතිරි වන බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ය.
“මේ කාරණය උදෙසා තිබුණු බධා අපමණයි. ඔබතුමා හොඳින්ම දන්නවා අලුත් දෙයක් කරන්න ගියාම කොපමණ අමාරුද කියලා. ඒ වගේම මේ ෆ්ලුකොෂසිලින් කියන බෙහෙත අද අපි එළි දැක්වුවා. එය රාජ්‍ය අංශය සඳහා රුපියල් මිලියන 550ක පමණත් පෞද්ගලික අංශය සඳහා රුපියල් මිලියන 450 ක් පමණත් වැයකරමින් මේ දක්වා පිටරටින් ගෙනාවා.
පහුගිය ආණ්ඩුව කියනවා අපි මේ එයාලා පටන්ගන්න ඒවා විවෘත කරනවා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ 2015 ට පෙර අගමැතිතුමා පටන් ගත්ත ඒවා ටිකවත් ඔවුන්ට ඉවර කරගන්න බැරිවෙලා තියෙනවා.
උදාහරණයක් වශයෙන් පහුගිය කාලයේ බෙහෙත් වර්ග 4 ක් හෝ 5ක් පමණයි නිෂ්පානය කරලා තියෙන්නේ. නමුත් පහුගිය මාස කිහිපයට මසකට එක ගානේ බෙහෙත් වර්ග අපි අලුතින් නිෂ්පාදනය කළා.
ගරු අග්රාමාත්යතුමනි, ඉන් අපට රුපියල් බිලියන 1.5 ක පමණ මුදලක් ඉතිරි කරගන්න හැකියාව ලැබුණා. මේ වැඩ පිළිවෙල අපි ඉදිරියට ගෙන යනවා ඒ සදහා හොරණ මිල්ලෑව ප්‍රදේශයේ මේ හා සමාන මීටත් වැඩි පහසුකම් තියෙන අලුත් ඖෂද නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන්න කටයුතු කරනවා.”
ජනාධිපති මහින්ද රාජපක්ෂ 2012 වසරේ රු. මිලියන 4470ක් වැය කරමින් ආරම්භ කළ මෙම ඖෂධ නිෂ්පාදනාගාරය 2020 වසරේ ඔහු අගමැතිවරයා ලෙස විවෘත කිරීම ද විශේෂත්වයකි.