සහරාන් රිල්වාන් අත්අඩංගුවට ගන්න බැරිවුණේ දේශපාලන බලපෑමක් නිසා! – දිලීප පීරිස් ජනපති කොමිසමට කියයි..

December 6, 2020 at 4:27 pm | by emanisa.lk

2017 වසරේ අල්ලියාර් මංසන්දියේ දී ඇති වූ ගැටුමට පසු මොහොමඩ් සහරාන් සහ ඔහුගේ සොහොයුරු මොහොමඩ් රිල්වාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ දේශපාලන බලපෑමක් නිසා යැයි තමාට වැටහුණු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව සහරාන් ගැන පවත්වා ගෙන ගිය විශේෂ ලිපි ගොනුවක් පිළිබඳ හෙළි කරමින් ඊයේ (05) ඔහු මේ බව අනාවරණය කළේ ය.

“ස්වාමිනි, කාන්තන්කුඩිය ප්‍රදේශයේ මව්ලවිවරයෙක් ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ ඉස්ලාම් අන්තවාදි ක්‍රියාකාරකම් පිළිබඳව දිගින් දිගට ම ලිපි මගින් වගකිවයුතු අංශ කිහිපයක් දැනුම්වත් කර තිබුණා. නීතිපතිවරයාට යොමුකළ අදාළ ලිපි සම්බන්ධයෙන් කටයුතු කළේ මම. මම ඒ මව්ලවිවරයාගේ පැමිණිළි සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා. කොහොම වුණත් මව්ලවිවරයා විසින් එවපු එක ලිපියක, 2017 මාර්තු 10 වෙනිදා අල්ලියාර් මංසන්දියේ ඇතිව තිබුණ ගැටුමක් ගැන සඳහන් වෙලා තිබ්බා.

විශාල පිරිසක් අවි ආයුධ අතදරා ප්‍රචණ්ඩව හැසිරෙනවා, තුවල ලැබුවන් මහමග වැටී සිටින ආකාරයේ ඡායාරූපත් එහි අන්තර්ගත වෙලා තිබුණා. මට ප්‍රශ්නයක් ඇති වුණා මෙ පමණ දෙයක් වෙනකං ප්‍රදේශයේ නීතිය හා සාමය භාර නිලධාරීන් ගත්තු පියවර මොකක්ද කියලා. ඒ නිසා මම කාන්තන්කුඩිය පොලිසියේ එවකට ස්ථානාධිපති පොලිස් පරික්ෂක කස්තුරිආරච්චි 2017 නොවැම්බර් 09 නීතිපති දෙපාර්තමේන්තුවට කැඳෙව්වා. ඒ වෙද්දිත් ඔහු සිදුවීමට අදාළව යම් සාධනීය පියවර කිහිපයක් අරන් තිබ්බේ. ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අල්ලියාර් ගැටුමට සම්බන්ධ වුණ 09 දෙනෙක් අත්අඩංගුවට අරන් තිබුණා.

නමුත් සහරාන් සහ රිල්වාන් කියන සොයුරන් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව ඔහු මා හමුවේ සඳහන් කළා. මම ඔවුන්වත් හැකි විගස අත්අඩංගුවට ගන්න කියලා උපදෙස් දුන්නා.”

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ, “සහරාන් සහ රිල්වාන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඔබ යම් හේතු විමසීමක් සිදුකළේද?” යන්න ය.

“ඔව් මම හේතු විමසුවා. ඔහු යම් පැකිලීමකින් පිළිතුරු දුන්නේ. යම් දේශපාලනික හේතුවක් තියෙනවා කියලා මට තේරුණා. එක ප්‍රාදේශිය වශයෙන් තිබ්බ සුවිශේෂි තත්ත්වයක්,” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස