ආණ්ඩුව මගේ ඔසප්වීමට 15%ක බද්දක් ගහලා! – ජවිපෙ නිරූපා සේරසිංහ

November 26, 2020 at 1:49 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නීතීඥ නිරූපා සේරසිංහ තැබූ ෆේස්බුක් සටහනක් පහත දැක්වෙයි.

“2018 දි ආනයනික සනීපාරක්ෂක තුවා මත පැනවූ සෙස් බද්ද ඉවත් කල. බහුතරයක් කාන්තාවගෙ ජන්දයෙන් බලයට ආ, කාන්තාව සවිබල ගන්වන බව කියන මේ ආණ්ඩුව ආයෙත් ඒ සෙස් බද්ද පනවලා. මේ රටේ 51% ක් කාන්තාවන්. සාමාන්‍යයෙන් එක් කාන්තාවක් තම ජීවත කාලයෙන් දින 2535 ක් ඒ කියන්නෙ වසර 7ක පමණ කාලයක් ඔසප් වීමට මුහුණ දෙනවා.

සාමාන්‍ය සනීපාරක්ෂක තුවා පැකට් එකක් මේ වන විට රු.120 – රු. 170 අතර වන විට ආනයනික වෙළඳ නාම සහිත පැකට් එකක් රු.350 පමණ වෙනවා. තමන්ගෙ දරුවට කිරි පැකට් එකක් ගන්න බැරිව ලතවෙන මව්වරු බහුතරයකට සනීපාරක්ෂක තුවා කියන්නෙ ඇත්තටම සිහිනයක්.

තමන්ගෙ ආච්චි, අම්මා ඇන්ද වගේම ඔසප් දවසට රෙදි කෑලි අඳින දියණිවරු, සනීපාරක්ෂක පහසුකම් නැති නිසා ඔසප් දිනයට පාසල් නොයන දියණිවරු තාමත් අපේ රටේ බහුලයි. කාන්තාවගේ සෞඛ්‍ය සවිබල ගන්වන්න නම් කළ යුත්තෙ සනීපාරක්ෂක තුවායට බදු ගහලා කාන්තාවගෙ සනීපාරක්ෂාව තව පහලට දාන එක නෙමෙයි.

සනීපාරක්ෂක තුවා භාවිත නොකරන කාන්තාවත් සනීපාරක්ෂක තුවා භාවිත කරන්නට පෙළඹවිය හැකි මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි. ඇත්තට ම අද දියුණු ලෝකයෙ සනීපාරක්ෂක තුවා භාවිතයටත් වඩා ඉදිරියට ගිය ඔසප් සනීපාරක්ෂක ක්‍රම තියනවා.

අපිට එහෙම දියුණු ක්‍රම නැතිවා පමණක් නෙමෙයි, සනීපාරක්ෂක තුවා අතර පවා විවිධත්වය අවමයි.
කාන්තාවන්ගෙ විවිධ කායික ස්වභාවයන් අනුව අවශ්‍ය සනීපාරක්ෂක තුවා වර්ග එකිනෙකට වෙනස්, ඒත් එහෙම තෝරාගැනීම් කිරීමට තරම් සනීපාරක්ෂක තුවා වර්ග අපේ රටේ නෑ.

ඔසප් වීම සම්බන්ධ සෞඛ්‍ය ගැන අධ්‍යාපනය නැති වීම, ඒ සම්බන්ධ මිත්‍යා විශ්වාස, විවෘත සංවාද නොමැතිකම ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධ බරපතල තත්වයක්. ඇත්තට ම කාන්තා අපි මේ ගැන තියන පසුගාමී අදහස්ම රජයන් ප්‍රයෝජනයට ගන්නවා බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න..

අසීමිත බදු ගසා සමාජයේ කාන්තාවන් කොටසක් පමණක් භාවිත කරන සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් නොකල යුතුය් සනීපාරක්ෂක තුවා.

තමන්ගෙ බිරිඳ, දියණිය, සහෝදරිය, පෙම්වතිය මාසෙකට වරක් පෙළෙන අපහසුතාවට හිනාවෙන පිරිමි වගේ ම, අනේ මොන ලැජ්ජාවක්ද මේවා කතා කිරීම කියලා හිතන කාන්තාවනුත් ඉන්න රටක මේ ගැන විවෘත සංවාදයක් ඇති කිරීම් ඉතාම අපහසුවක් වුණත් එය කළ යුතු ම කාලයයි මේ !!”

කෙසේ වුවද රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර පෙන්වා දුන්නේ මෙතෙක් පැවති සනීපාරක්ෂක තුවා සඳහා වන 30% ආනයනිත බද්ධ නව බදු සැකසුම යටතේ 15% ආනයනිත බදු සහ 15%ක් සෙස් බදු ලෙස සංශෝධනය කිරීම හැර කිසිදු බදු මුදලක් අලුතින් පනවා නොමැති බව ය. එසේ ම දේශීය සනීපාරක්ෂක කර්මාන්ත ආාරක්ෂා වන ආකාරයට එම බදු ද ඉදිරියේ දී සංශෝධනයට යෝජනා කරන බව ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස