ලේක්හවුස් මොළ හෝදන රැස පත්තරේ වසා දමයි! මාධ්‍ය වෙස් ගත් NGO කල්ලිය තවමත් පඩිපිට ඇතුළේ!

January 30, 2020 at 9:59 am | by emanisa.lk

පසුගිය ආණ්ඩු සමයේ ලේක්හවුස් ආයතනය මගින් ආරම්භ කළ දිනපතා රැස පුවත්පත වසා දැමීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇතැයි වාර්තා වෙයි.

2018 ජනවාරි 11 වෙනිදා රැස පුවත්පත ආරම්භ කළේ ඇමති මංගල සමරවීරගේ මූලිකත්වයෙනි. ඒ සඳහා මාධ්‍යවේදීන් ලෙස බඳවා ගත්තේ ජාතික පුවත්පත්වල සේවය කළ මාධ්‍යවේදීන්ට වඩා 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා ෆේස්බුක් ඇතුළු විකල්ප මාධ්‍යවල දරදිය ඇදි පිරිසකි.

එතෙක් එජාප මඩ වෙබ් අඩවි සහ විකල්ප මාධ්‍ය ආයතනවල සේවය කළ මෙම කණ්ඩායම ඉහළ වැටුප් ගෙවා ලේක්හවුසියට බඳවා ගෙන මෙම පුවත්පත ආරම්භ කළේ එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයට එරෙහිව අසත්‍ය පුවත්පත් නිර්මාණයට සහ මඩ අවලාද ප්‍රචාරය කිරීම සඳහාය. ගෝඨාභය රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාර සිද්ධියට වගකිව යුතු බව පවසමින් පොතක් ලියූ කසුන් පුස්සවෙල ද ඒ අතර විය.

ආරම්භයේ සිටම අතිශය පාඩු ලැබූ මෙම පුවත්පත පසුගිය ජනාධිපතිවරණ සමයේ ඉතාම පහත් මාධ්‍යකරණයක නිරත වෙමින් එවක විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඇතුළු විවිධ අභූත චෝදනා සමාජගත කිරීමට මහත් වෙහෙසක් ගත්තේය.

මෙම පුවත්පත ආරම්භ කළ 2018 වසරේ ලේක්හවුස් සමස්ථ අලාභය රු. ලක්ෂ 1500ක් වූ අතර දිනපතා රැස පුවත්පතේ අලාභය රු. ලක්ෂ 770ක් හෙවත් සමස්ථ පාඩුවෙන් 50%කට වැඩි විය. දිනපතා එහි පිටපත් 900ක් නිකුත් කළ ද පිටපත් 1000ක් අලෙවි වූයේ ද නැත.

එවක ලේක්හවුස් සභාපති ලෙස කටයුතු කළ ක්‍රිෂාන්ත කුරේ ස්විස් එම්බසියේ ගානියා බැරිස්ටර් සිද්ධියත් සමග ස්විට්සර්ලන්තයට පළාගිය අතර මෙතෙක් පැමිණ නැත.

ආණ්ඩු මාරුව සමග පොහොට්ටුවට සම්බන්ධ දේශපාලකයන්ට සහ සමාජ මාධ්‍ය කණ්ඩායම්වලට ප්‍රචාරය ලබා දෙමින් වෙස්මාරු කරන්නට රැස පත්තරේ කටයුතු කරනු දැකගත හැකි විය.

ඊයේ (29) දිනට පසු රැස වෙබ් අඩවිය ද යාවත්කාලීන කර නොමැති අතර ඒ අනුව වසර තුනකට අධික කාලයක් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් මහජන මුදලින් නඩත්තු කළ රැස පුවත්පත වසා දමා ඇතැයි අනුමාන කළ හැකිය.

කෙසේ වුවද කිසිදු මාධ්‍ය සුදුසුකමක් නොසලකා සිංහල බෞද්ධ විරෝධය, රාජපක්ෂ විරෝධය, එජාප ගැතිකම, රාජ්‍ය නොවන සංවිධානවල අතකොලු වීම ආදිය සුදුසුකම් ලෙස සලකා ලේක්හවුසියට බඳවා ගත් රැස කණ්ඩායම තවමත් ලේක්හවුස් පඩි ලබන සේවකයන් බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස