83 ජේ.ආර්ගේ ආණ්ඩුව ජාතිවාදී ගැටුමක් හදලා ඒක වෙනත් පක්ෂයකට පැටෙව්වා! යාපනේ පුස්තකාලය ගිනි තියන්න කොළඹින් කෝච්චි තුනක මැරයෝ අරන් ගියා! – ආචාර්ය නාලක ගොඩහේවා

May 15, 2019 at 7:04 am | by admin

ආණ්ඩුවේ උගුල්වලට අසුවී ලෝකය ඉදිරියේ ජාතිය අවමානයට පත් නොකර ගන්නා ලෙස දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා 14 දා කොල්ලුපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

“අද මේ රටේ ජනතාවගෙන් අති බහුතරයක් දේශපාලනිකව දැනුම්වත්. ඔවුන් මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. නමුත් සුලුතරයක් රැල්ලට අසුවී අනවශ්‍ය කලබල ඇතිකරනවා. 21දා සිදුවූ අති බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු සාමාන්‍ය මුස්ලිම් ජනතාවට කිසිදු හිරිහැරයක් වන්නට ඉඩ නොදී ලංකාවේ බෞද්ධ, කතෝලික හින්දු ජනතාව ලෝකයටම ආදර්ශයක් දුන්නා.

සිංහල ජනතාව මුස්ලිම්වරුන්ට පහර දෙනවා කියා පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුවදාම එංගලන්තයේ වීදිවල පෙලපාලි ගිය අයට කට උත්තර නැති වුණේ ඔවුන් බලාපොරොත්තු වූ උගුලට සිංහල හා දෙමෙළ ජනතාව අසුවුණේ නැති නිසායි. නමුත් ඒ සිද්ධිය සිදුවී සති තුනකටම පසු මෝඩයන් පිරිසක් කාගේ හෝ උසි ගැන්වීම් මත තැන් තැන් වල මුස්ලිම්වරුන්ට පහරදී සමස්ත ජාතියේම ගෞරවය නැතිකරන්නට කටයුතු කිරීම අන්තිම කගාටුදායකයි.

අමතක කරන්න එපා 83 කළු ජූලිය පිටුපස සිටියේ එවකට පැවති ආණ්ඩුවයි. එය හෙළිදරව් වුණේ වසර ගණනාවකට පසුවයි. එදා ජේ ආර්ගේ ආණ්ඩුවේ මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇති කොට එය වෙනත් දේශපාලන පක්ෂයක් මත පැටෙව්වා. යාපනයේ තිබුණ ඓතිහාසික පුස්තකාලයට ගිනිතිබ්බේ දිස්ත්‍රික් සංවර්ධන සභා චන්දයට කෝච්චි 3 ක් පුරවා කොළඹින් ඇරපු ආණ්ඩුවේ මැර කණ්ඩායම් විසිනුයි. හුදු දේශපාලන වාසි ගන්නට කළ මේ අමන ක්‍රියාවන් නිසා ජාතියන් වශයෙන් අපි අවුරුදු 30 ක් දුක්වින්දා.

අදත් රටේ කලබලයක් අවශ්‍යව තිබෙන්නේ ආණ්ඩුවටයි. විපක්ෂයට අවශ්‍ය හැකි තරම් ඉක්මනින් මැතිවරණයක්. ඒ සඳහා සාමකාමීව දේශපාලනය කරන්නට පුළුවන් වාතාවරණයක් විපක්ෂය බල පොරොත්තු වෙද්දී මහජන අප්‍රසාදයට ලක්වී සිටින ආණ්ඩුවට අවශ්‍ය රටේ කලබල පවත්වා ගැනීම හරහා සියලු දෙනාම ගෙවල් දොරවල්වලට කොටු කර තබා ගන්නයි. එතකොට විපක්ෂයට රැස්වීම් තියන්න බැහැ, එක් රැස්වෙන්න බැහැ, උද්ඝෝෂ්ණ කරන්න බැහැ, ආණ්ඩුවට හිතෙන හිතෙන වෙලාවට සමාජ ජාල අවහිර කරන්න පුළුවන්, රටේ ආරක්ෂාවට කියා මාධ්‍ය වාරණය කරන්න පුළුවන්, දේශපාලන ප්‍රතිවාදීන්ව කලබලවලට සම්බන්ධයි කියා බොරු චෝදනා යටතේ අත් අඩංගුවට ගන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනයට අවශ්‍ය අනපනත් සම්මත සම්මත කර ගන්නට පුළුවන්. තත්ත්වය පාලනය කරගන්න බැහැ කියා ඉදිරියට එන්නට නියමිත් මැතිවරණත් කල් දාන්න පවා පුළුවන්. ඒ නිසා හොඳින් මතක තබා ගන්න මේ ඇතිවෙන සියලු කලබල අස්සේ ඔබ නොදන්නා අදිසි හස්තයක් තිබෙනවා විය හැකියි. 83 වුණෙත් එයමයි.

ඊළඟ එන ජනාධිපතිවරණය මේ රට අද වැටී තිබෙන ආර්ථික සමාජ දේශපාලන අගාධයෙන් ගොඩ එන්නට පුරවැසියන්ට තිබෙන අන්තිම අවස්ථාවයි. ඒ සඳහා මේ රටේ සියලුම ජනතාව එකතු විය යුතුයි. අද අපට තියෙන ආර්ථික ප්‍රශ්න හා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න, සිංහල දෙමළ හා මුස්ලිම් සෑම පුරවැසියෙකුටම බලපානවා. ඒ නිසා ඔවුන් සියලු දෙනාම මේ අසාර්ථක ආණ්ඩුව පලවා හැරීමේ කර්තව්‍යට එක් වෙමින් සිටිනවා. එක අරමුණක් සඳහා පෙල ගසෙමින් සිටිනවා.

මෙය වලක්වන්නට නම් ආණ්ඩුව මේ බලවේගය කැබලිවලට කැඩිය යුතුමයි. එදා සුද්දා බේද කොට පාලනය කිරීමේ න්‍යායෙන් රට පාලනය කළා සේම මේ ආණ්ඩුවත් බෞද්ධ, කතෝලික, මුස්ලිම් , හින්දු ආගම් වශයෙන් ජාතිය බේද ඇතිකිරීමට කළ හැකි සියලු දේ ඉදිරි කාලයේදී කරාවි. එය සිදුවන්නේ ඉතා සුක්ෂම විධියටයි. ඔබව පාවිච්චි කරනු ඇත්තේ අර පසුගියදා විකාශනය වු කූඹියෝ ටෙලි නාටකයේ වගේ ඔබවත් නොදැනුවයි. බෙදුනොත් සතුරා ඉදිරියේ ඔබ දුර්වල වෙනවා. අන්තිමට ඔබේම දුර්වලතා මතින් ඔවුන් යළි බලයට එනවා. ඒ නිසා කරුණාකරලා දැනුම්වත් වෙන්න. අනික අයවත් දැනුවත් කරන්න මේ උගුලට අසු වී බෙදී වෙන් වෙන්න එපා.”

– චාමින්ද කරුණාරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස