ජනතා ප්‍රශ්න විසඳන්න වෘත්තිය සමිති දෙන සහයෝගය අගය කරනවා..! – අගමැති…

April 21, 2022 at 2:43 pm | by emanisa.lk

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ප්‍රගතිශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (20) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

වර්තමානයේ පවතින අර්බුදය නිර්මාණය වුයේ සියලු දේශපාලන පක්ෂ අතීතයේ ගත් තීරණ නිසා බවත්, එමගින් නිර්මාණය වූ ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් දක්වා පැමිණ ඇති බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී පැවසූහ.
අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ පිරිස නිර්දෝෂීන් ලෙස පෙනී සිටිමින් වර්තමාන රජය මත සියලු චෝදනා එල්ල කරමින් සිටින බවද වෘත්තීය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමා හමුවේ පෙන්වා දුන්හ.

ජනතාව මුහුණ දී ඇති අසීරු තත්ත්වයෙන් මුදා ගැනීමට රජය ගන්නා ක්‍රියාමාර්ග කඩිනම් කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති ලෙස ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු සහ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ප්‍රගතිශීලී රාජ්‍ය සේවක සම්මේලනය, ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය, පොදුජන වතු සේවක සංගමය, පළාත් පාලන සේවක සංගමය, පොදුජන පෙර පාසල් සංගමය ඇතුළු ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *