රාජපක්ෂලා මරන්න ලේසි නෑ…! සොබාදහමත් රාජපක්ෂලා රකිනවා…! අපි කළ පිං ඒ තරම් බලවත්….!

March 29, 2021 at 3:59 pm | by emanisa.lk

පසුගිය 22 වැනිදා බිබිල මැදගම ප්‍රදේශයේ දී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ජීප් රථය ගංවතුරට හසුව ගසාගෙන ගිය නමුත් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස දිවි බේරා ගැනීමට සමත් විය.

මෙම අනතුරෙන් පසුව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මොනරාගල ප්‍රදේශයේ ඉදිකිරීමට නොහැකි වූ එක ම පාලමෙන් තමා අනතුරට ලක් වූ බවයි. කෙසේ නමුත් කතරගම දෙවියන්ගේ පිහිටෙන් ජීවිතය බේරා ගැනීමට සමත් වූ බවද ඔහු පවසයි.

තමන් දියේ ගසාගෙන ගිය ස්ථානයේ තිබෙන සපත්තු පාලම වෙනුවට නව පාලමක ඉදිකිරීම සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින්ම මුල්ගල් තබා තිබේ. මෙම පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 15 ක් ඇස්තමේන්තු කර ඇති අතර ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා මුදල් වෙන්කර තිබේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ලේසියෙන් මරා දැමිය නොහැකි බවත්, රාජපක්ෂ පවුල රටට සිදුකර ඇති සේවය හේතුවෙන් සොබාදහම විසින් ම රාජපක්ෂ පවුල ආරක්ෂා කරන බවත් මුල්ගල් තැබීමේ උත්සවයේදී ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළේ ය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ දී බෝම්බ ගසා මරා දැමීමට උත්සාහ කළ නමුත් ඔහු ඉන් බේරීමට සමත් වූ බවද මන්ත්‍රීවරයා සිහිපත් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *