2021 වැවිලි භෝග අපනයනයෙන් ඩොලර් මිලියන 2000ක්..! පොල් නිෂ්පාදනවලින් ඩොලර් මිලියන 850ක ආදායමක්…!

March 4, 2022 at 4:33 pm | by emanisa.lk

පොල්‍ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ ඇමරිකානු ‍ඩොලර් මිලියන 850ක පමණ ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

මෙරට පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති බැවින් එම අපනයන ආදායම සියයට විස්ස දක්වා වැඩි කර ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

තංගල්ල, මිද්දෙණිය දෙමුහුම් බීජ පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව කීවේය.

2005 වසරේදී කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ චමල් රාජපක්ෂ මහතා විසින් මිද්දෙණිය කෘෂිකර්ම මධ්‍යස්ථානයෙන් අක්කර 25ක් පමණ පොල් පර්යේෂණායතනයට පවරා දී ඇති අතර එම ඉඩමෙහි මෙම දෙමුහුම් බීජ පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබිණි.

අඩු උසකින් යුතු ඉතා ඉක්මනින් වැඩි ඵලදාවක් ලබාගත හැකි දෙමුහුම් පොල් පැල මිලියන දෙකක් 2023 වසර වන විට නිෂ්පාදනය කිරීම රජයේ අරමුණ වී ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙසේ ද පැවසීය.

“පසුගිය සමයේදී පොල්වගා කිරී‍මේ මණ්ඩලය වාර්ෂිකව පොල්පැල ‍ලක්ෂ 20 ක් නිපදවනවා. නමුත් පොල් පැල සඳහා තිබන ඉල්ලුමට ඒ ප්‍රමාණය මදි. ඒ නිසා රටට අවශ්‍යතරම් පොල්පැල නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේදී අවම වශයෙන් පොල්පැල ලක්ෂ 50ක් නිපදවන්න වැවිලි අමාත්‍යංශය බළාපොරොත්තු වෙනවා. එම ඉලක්කය ජය ගැනීම සඳහා පොල් පර්යේෂණායතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය මෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලකම ප්‍රජා දායකත්වය යටතේ පොල්පැල 5000 ක් නිෂ්පාදනය කරන්න රජය බළාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය උසස් හා ගුණාත්මක බවින් ඉහළ පොල් බීජ 5000ක් ලබා දෙනවා. ඒ බීජ තමන්ගේ ඉඩම්වල වගා කරන්න ඕනෑම අයකුට පුළුවන්. මාස දහයකට පසුව ව්‍යාපාරයක් ලෙස එය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අපි සහතිකයක් ලබාදෙනවා.

එමෙන්ම ඉතා කෙටි කලකින් ඵල දරන දෙමුහුන් පොල් සඳහා මෙරට තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා. නමුත් අපේ රටේ වාර්ෂිකව දෙමුහුන් පොල් පැල නිෂ්පාදනය ලක්ෂ දෙකයි. ඒ අනුව රජයේ පොල් වතුවල මෙන්ම තෝරාගත් පෞද්ගලික වතුවලත් දෙමුහුන් පොල් පැල නිෂ්පාදනය කිරීමේ වගකීම පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් බාරගෙන තිබෙනවා. ඒ අනුව ලබන වසර වනවිට ‍දෙමුහුන් පොල්පැල මිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට අපි බළාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබාදී තිබෙනවා.

මෙරට වැවිලි කර්මාන්ත ඉතිහාසයේ වැඩි ම අපනයන ආදායම උපයා ගත්තේ පසුගිය වසරේදියි. එය ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක මුදලක්. තේ වගාවෙන් පසුගිය වසරෙදි ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක මුදලක් උපයා තිබෙනවා. එමෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීම මගින් පසුගිය වසරේදි ඇමරිකානු ඩොලර් මිලියන 850ක් ආදායමක් උපයා තිබෙනවා. එය වාර්ෂිකව සියයට 20න් වැඩි වෙනවා. මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලෝකයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසා මෙම ආදායම වාර්ෂිකව වර්ධනය කරගන්න අපට පුළුවන්කම තිබෙනවා.

අපේ රටේ වාර්ෂිකව පොල් ගෙඩි බිලියන තුනක් නිපදවනවා. ඉන් බිලියන දෙකක් අපි දේශීය පරිභෝජනය කරන්න ගන්නවා. පොල් ඵලදාව වැඩි කරගෙන වැඩි වශයෙන් පොල් අපනයනය කළහොත් ඇමරිකානු ඩොලර් බිලියන 2ක පමණ ආදායමක් උපයාගන්න පුළුවන්. එමෙන්ම ගෙදරට පොල් ගෙවත්තෙන් සංඛල්පය යටතේ මෙරට සෑම නිවසකට ම පොල් පැල දෙකක් ලබා දෙනත් රජය කටයුතු කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ මෙරට වැවිලි කර්මාන්තයේ ස්වර්ණමය යුගයක් උදාවෙමින් තිබෙනවා. ඒ ස්වර්ණයම යුගයේ කොටස්කරුවන් වන්නට රටේ සියළුම දෙනාටම අවස්ථාව ලැබී තිබෙනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස