2015 ජිනීවා ගොස් රට පාවදුන් කඳවුර ජනතාව එක්ව දේශපාලනයෙන් අතුගා දැම්මා…! – ආචාර්ය ජයනාත් කොළඹගේ

March 9, 2021 at 9:51 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී 30/1 යෝජනාව ඉදිරිපත් කළ කිසිවකුත් අද දේශපාලනයේ නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ පවසයි.

අල්ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහ ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ සම්බන්ධයෙන් මාධ්‍යවේදියා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ සඳහන් කළේය.

ඉකුත් ආණ්ඩුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය නොදුන් නිසා පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ප්‍රහාර මාලාව එල්ල වූ බවත් තිස් වසරක යුද්ධයක් පැවැති රටක එවැනි දැවැන්ත ව්‍යවසනකාරී ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව එය වූ බවත් ආචාර්ය කොළඹගේ කීවේ ය.

යුද්ධය අවසන් වීමෙන් පසු තිරසර සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත්‍රණයක් වෙනුවෙන් කැප වූ බවත් ඒ වෙනුවෙන් පමණක් ජනාධිපති කොමිෂන් සභා තුනක් පත් කළ බවත් ඔහු සිහිපත් කළේ ය.

යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය යුද්ධයට මැදි ව තිබූ ඉඩම්වලින් සියයට 92ක් මහ ජනතාව වෙත මුදා හැර ඇතැයි ද හෙතම පෙන්වා දුන්නේ ය.

බිම්බෝම්බ ලක්ෂ හැටක් ඉවත් කර ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය මානව පලිහක් ලෙස යොදාගත් පුද්ගලයන් 295,000 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර නැවත පදිංචි කර ඇති බවත් කී ආචාර්ය කොළඹගේ ඊට අමතරව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන් 12,500 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැර ඇති බවත් සඳහන් කළේ ය.

මිෂෙල් බැචලේ හෝ ඇයගේ නියෝජිතයන් කිසිවකුත් ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි ද බොහෝ අය පරිගණක ඉදිරියේ සිට වාර්තා ඉදිරිපත් කරන නමුත් රටේ යථා තත්ත්වය හැබැහින් දැක නැතැයි ද ආචාර්ය කොළඹගේ අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස