යහපාලන ආණ්ඩුව ජිනීවා යෝජනාවෙන් රට පාව දුන්නා! නීති විරෝධී යෝජනාවේ සම-අනුග්‍රහය ඉවත් කරගන්න! – ඇල්ලේ නාහිමි ජනපතිට ලියයි….

February 17, 2020 at 2:01 pm | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකා රජය සම අනුග‍්‍රහය දක්වමින් ඉදිරිපත් කර ඇති 30/1 යෝජනාවේ සම අනුග‍්‍රාහකත්වය ඉල්ලා අස්කර ගන්නා ලෙස ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටිති.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් උන්වහන්සේ ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය මෙසේය.

ඉහත සඳහන් යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාණ්ඩුවේ සම අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කෙරී ඇත්තේ මෙරට පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැතිවය. අපේ දැනුම අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරී නැත.

එකී යෝජනාව ඉතා පැහැදිලිව මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක්ද වෙයි. මේ යෝජනාවෙන් මෙරට නීති පද්ධතියට හා අධිකරණයට ඇඟිලි ගැසීමක් ද වන අතර අප මත නීති පැටවීමක්ද සිදුවෙයි. යෝජනාවෙන් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණය හෑල්ලූවට ලක්කෙරී එකී බලතල ඊනියා ජාත්‍යන්තරයක මෙහෙයීමකට යටත් කෙරෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව මේ යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමට විරෝධය පළකර ඇත. ඔවුන් ජනාධිපතිතුමා තෝරා ගත්තේ මෙම යෝජනාවට විරෝධය පළ කිරීමක් ද ලෙසය. දැනටමත් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ ආණ්ඩුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම මගින් 30/1 නමින් හැඳින්වෙන උක්ත යෝජනාව අනුමත නොකරන බව පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත.

ජාතික ව්‍යාපාරයේ පුරෝගාමීන් හා ජාති හිතෛෂීන්ගේ එකතුව ලෙස අප ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති එමෙන්ම ජනතාවගේ විරෝධතාවට ලක්වී ඇති එකී යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් යෝජනාවට අදාළ මණ්ඩලවලදී විරෝධය දක්වන ලෙසත්ය.

පසුගිය ආණ්ඩුව රටේ ස්වෛරීභාවය පාවා දීමට ගන්නා ලද පියවර ආපසු හැරවීම ඔබතුමාගේ ආණ්ඩුවේ ප‍්‍රමුඛ කටයුත්තක් ලෙස සලකා ක්‍රියා කිරීම බෙහෙවින් අගය කරමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස