1973 ගෝඨාභය දුටු යාපනය සහ යාපනේ වත්මන් තරුණ පරපුර!

March 31, 2019 at 11:23 am | by admin

යාපනය හා අවට ප්‍රදේශවල සිට පැමිණි තරුණ තරුණියන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සුහද පිළිසඳරක් මෑතකදී පැවැත්වුනා. වියත්මග විධායක කමිටු සාමාජිකයෙක් ලෙස මටද ඒ සඳහා ඇරයුම් කර තිබුනා. දුර බැහැර සිට පැමිණි එම සහෝදර සහෝදරියන්ට ආගන්තුක සත්කාර කිරීමෙන් අනතුරව ඔවුන්ගේ අදහස් විවෘතව ඉදිරිපත් කිරීමට ගෝඨාභය මහතා පළමුව ඔවුන්ට ආරාධනා කළා. ඔවුන් තම ප්‍රදේශයේ පවතින විවිධ සමාජ ගැටලු නොපැකිළව ඔහුට ඉදිරිපත් කළා.

ඔවුන් කිව්වේ උතුරේ ජනතා නියෝජිතයන් යුද්ධය ගැනම කතා කර කර හිටියා මිසක් කිසිදු සංවර්ධනයක් තම ජනතාව වෙනුවෙන් සිදු කළේ නැහැ කියලයි. උතුරු ප්‍රදේශය සඳහා දිගුකාලීන සංවර්ධන වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔවුන් පෙන්වා දුන්නා. එහෙ තරුණ තරුණියන් මුහුණ දෙන ලොකුම ගැටලුව ලෙස ඔවුන් කිව්වේ රැකියා විරහිතබව. පානීය ජල පහසුකම් නැතිකම ගැන ඔවුන් කියද්දී ඉරණමඩු ජල ව්‍යාපෘතිය ඉතා මන්දගාමී ලෙස ඇදෙන බවත් කිව්වා. ජීවත් වීමට සුදුසු නිවාස නැතිකම සහ ඈත ගම්මානවල සනීපාරක්ෂක සේවා නැතිකම ඔවුන් මුහුණ දෙන තවත් ගැටලු. උතුරේ ජන සමාජය මුහුණ දෙන තවත් බරපතල ගැටලුවක් ලෙස ඔවුන් අවධාරණය කළේ වේගයෙන් පැතිරෙන මත්කුඩු ජාවාරමයි.

ඒවා සියල්ලක්ම ගෝඨාභය මහතා කිසිදු බාධා කිරීමකින් තොරව ඉතා සාවධානව අසා සිටියා. මා නිරීක්ෂණය කළ එක දෙයක් තමයි අනෙකා කියන දෙයට ඇහුම්කන් දෙන්න ගෝඨාභය මහතාට තිබෙන ඉවසිලිවන්ත බව. ඒක හොඳ ලක්ෂණයක්. සාම්ප්‍රදායික ජනතා නියෝජිතයන් සහ දේශපාලන පණ්ඩිතයන් තමන්ගේ පම්පෝරි කතා කියනවා මිසක් අනෙකා කියන දෙය අහන්න සුදානම් නැහැ. හැමෝටම අවස්ථාවක් ලැබුනට පස්සේ අන්තිමට ගෝඨාභය මහතා ඔහුගේ කතාව කිව්වා. ඒක හරි අපූරු කතාවක්. මේක ලියන්නම ඕනා කියලා හිතුනා.

ගෝඨාභය රාජපක්ෂට ඔහුගේ ජිවිතයේ පළමු පත්වීම ලැබිලා තිබෙන්නේ යාපනයට. 1973 දී දෙවැනි ලුතිනන් වරයෙකු ලෙස යාපනයට යන තරුණ ගෝඨාභයට රාජකාරිය ලෙස පැවරිලා තිබෙන්නේ යාපනය අර්ධද්වීපයේ මුහුදු තිරය හරහා රටට යන එන හොරබඩු ජාවාරම් (smuggling) නැවැත්වීම. ඔහු මතක් කළා නැගෙනහිර වෙරළේ නයාරු ඉඳලා පේදුරු තුඩුව හරහා බටහිර වෙරළේ සිළාවතුර දක්වා මුළු යාපනය අර්ධද්විපයේම කරක් ගහපු හැටි. කිසිදු ගිනි අවියක් නැතිව තනිවම එක රියදුරෙක් සමග ඔහු ගමන් කළ හැටි කියන කොට මට හිතුනේ, 1980 ඉපදිච්ච මට මගහැරිච්ච යාපනය කොච්චර සාමකාමීව තිබෙන්න ඇතිද කියලයි.

ඒ කාලේ යාපනයේ පැවති සමාජ ආර්ථික පසුබිම ගෝඨාභය මහතා මතක් කළා. යාපනයේ ගොවි මහතුන් වවපු එළවලු සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය මුළු ලංකාවටම බෙදා හැර තිබෙනවා. යාපනයේ මිනිස්සු ඉතා සතුටින් සහ අභිමානයෙන් එදා ඉඳලා තිබෙනවා. උතුරේ තිබිලා තිබෙනවා A-Grade පාසල් 30 ක් විතර. ගෝඨාභය කිව්වා ඔහු ඉපදිච්ච හම්බන්තොට ප්‍රදේශයට වඩා යාපනය එදා සෑහෙන ඉදිරියෙන් තිබුනා කියලා. අනුරාධපුර පැත්තේ දරුවෝ වැඩි දුර අධ්‍යාපනය සඳහා ගිහිල්ලා තිබෙන්නේ යාපනයේ පාසල් වලට මිසක් කොළඹට නොවෙයි. කොහොම තියෙන්න ඇතිද ඒ කාලෙට සාපේක්ෂව?

නමුත් 1977 දී විවෘත ආර්ථිකය ගෙන ඒමත් සමගම අර යාපනයේ ගොවි මහතුන්ට සහ ව්‍යාපාරිකයන්ට කණකොකා හඬලා. මිරිස් කරළේ ඉඳලා පිටරටින් ආනයනය කරනකොට යාපනයේ දේශීය ගොවියා අසරණ වෙලා ව්‍යාපාර බිඳවැටිලා තිබෙනවා. යාපනයේ ආර්ථිකයට විතරක් නොවෙයි මුළු ජනරජයේම ආර්ථිකයට ගහපු මරු පහර තමයි විවෘත ආර්ථික ක්‍රමය. ගෝඨාභය මේවා කියන්නේ හරි සංයමයෙන්. විවෘත ආර්ථිකය ගෙනාපු එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායකයන් ගැන හෝ ගෝඨාභය සඳහන් කළේ නැහැ. සභාවේ පිරිස ඇස්පිය හෙලන්නේ නැතිව මේ කතාව අහගෙන ඉන්නවා. හැමෝටම පුදුමයි ගෝඨාභය සතු අත්දැකීම් ගැන සහ ඔහුගේ සමාජ විකාශයේ පරිණත කියවීම ගැන.

ඊට පස්සේ 70 දශකයේ අග වෙනකොට LTTE ත්‍රස්තවාදය ආරම්භ වීමත් ඒ නිසාම ඊළඟ අවුරුදු 30 ටම උතුරු සහ නැගෙනහිර කිසිදු සංවර්ධනයක් සිදු නොවූ හැටිත් ඔහු පැහැදිලි කළා. එයින් එම ප්‍රදේශවල සමාජ ආර්ථික තත්ත්වය බිංදුවටම වැටුනා. මගේ හිතේ ඇතිවුන කණගාටුව අප වටේට වැඩි වෙලා හිටපු ඒ දෙමළ සහෝදර සහෝදරියන්ගේ මුහුණු වලත් මා දැක්කා. යුද්ධයක් නොතිබුනා නම් අද වෙනකොට මේ මගේ පරම්පරාවේ මිනිස්සු කොච්චර ලස්සනට ඉන්නවද කියලා මට හිතුනා. එදා අනාගතය, ඒ කියන්නේ අද අපේ වර්තමානය නේද ත්‍රස්තවාදීන් විසින් උදුරාගත්තේ කියලා මට හිතුනා. තාමත් සමහර දුෂ්ට දුර්දාන්තයන් අපට ඉදිරියට යන්න දෙන්නේ නැහැනේ…

2009 යුද්ධය අවසන් වුනාට පස්සේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව සැලසුම් කර තිබෙන්නේ උතුර සහ නැගෙනහිර කඩිනමින් සංවර්ධනය කරන්න. ගෝඨාභය මහතා කියන විදිහට ඔවුන් හිතුවේ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදලා, මහාමාර්ග සහ දුම්රිය මාර්ග හදලා, ජලය, විදුලිය, සහ සන්නිවේදන තාක්ෂණය ලබා දීලා සංවර්ධනය කළොත් පෞද්ගලික කර්මාන්ත එහෙට ඇවිල්ලා ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දෙයි කියලයි. නමුත් ඊට කලින් ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් අභියෝග කිහිපයක් විසඳන්න වෙලා තිබෙනවා. ලක්ෂ තුනක් පමණ උතුරු සහ නැගෙනහිර ජනතාව නැවත ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කරවන්න වෙලා. ඊට කලින් එම භූමියේ වළලා තිබුන බිම්බෝම්බ ඉවත් කරන්නත් සිද්ධ වෙලා. ඒ අතරේ 13,000 කට අධික LTTE සාමාජිකයන් හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කරලා සමාජයට නිදහස් කරන්නත් ඔහුට සිදු වුනා.

ඔහු ඒ සියල්ලක්ම අවුරුදු තුන හතරක් ඇතුළත සාර්ථකව නිම කරනවා. ඔහුගේ ලොකුම දක්ෂතාවය තමයි සැලසුම් ක්‍රියාත්මක කිරීම. ගෝඨාභය ඔහු සමග වැඩ කළ නිළධාරීන් ගැන හරිම මිත්‍රශීලීව මතක් කරනවා. ඒක මම හරි කැමති ලක්ෂණයක්. ඔහුගේ සමකාලීනයන් අදටත් ඔහු සමග ඉතා ගෞරවයෙන් වැඩකටයුතු කරනවා. එයින් පෙනෙන්නේ ඔවුන්ගේ කණ්ඩායම් හැඟීම. කොහොමහරි අවසානයේ ගෝඨාභය පැමිණි පිරිසගෙන් ප්‍රශ්නයක් ඇහුවා. “එහෙම සංවර්ධනයක් කරගෙන ආව මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව උතුරේ මිනිස්සු 2015 ඡන්දේ දුන්නේ ඇයි?” කියලා ඔහු ඇහුවා.

ඔවුන් කිව්වේ උතුරේ දේශපාලන පක්ෂ නායකයන් ඔවුන්ව රැවැට්ටුවා කියලයි. මහින්දගෙන් ගන්න බැරි දේශපාලන විසඳුම, ඔහුගේ ප්‍රතිවාදීන්ගෙන් ගන්න පුළුවන් කියලා, ඒ නිසා මහින්දට විරුද්ධව ඡන්දේ දෙන්න කියලා ඔවුන්ට බල කළා කියලා ඔවුන් කිව්වා. නමුත් ඔවුන්ට එවැනි දේශපාලන විසඳුම් වලට කලින් ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සංවර්ධනයක් උවමනා බව ඔවුන්ට දැන් අවබෝධ වී ඇති බවත් ඔවුන් කිව්වා. ඒක හරිම අවංක, අව්‍යාජ, නිහතමානී පිළිතුරක්. ඉතින් මිත්‍රවරුනි ඒ අවශ්‍යතාවයම නේද ජනරජයේ සාමාන්‍ය වැසියන් වන අප හැමෝටම තියෙන්නේ? කවුද අපිව බෙදා වෙන් කරලා හැමදාම දුප්පත්කමේ, අසමගියේ, අසාධාරණයේ ගිල්ලවලා තියන්නේ? ඔවුන් ඇයි එහෙම කරන්නේ?

ගෝඨාභය කියන චරිතය ඔබත් මමත් 2005-06 විතර ඉඳලා දන්න ආරක්ෂක ලේකම්වරයා විතරක් නොවෙයි. ඊට වඩා දිග, ඊට වඩා ගැඹුරු, ඊට වඩා සංවේදී කතාවක් තියෙනවා ඔහුට කියන්න. මා හිතන්නේ නැහැ ඔහුම ඒ කතාව කියයි කියලා. ඒ නිසා මට අල්ලගන්න පුළුවන් තරමට, පුළුවන් විදිහට ඒ කතාව ඉදිරියට කියන්නම්. ගෝඨාභය ජනපති වෙනවද නැද්ද කියන්න මා දන්නේ නැහැ. ජනපති උනත් එකයි නැතත් එකයි. ගෝඨාභය රාජපක්ෂ ගැන මට හිතෙන දේ සාධාරණව ලියන්නම්. මොකද ඒ නිහඬ වීරයා ගැන ඇත්ත කතාව අනාගත පරම්පරාවන් දැනගත යුතු නිසා. පිළිසඳර අවසානයේ හැමෝම ආරාධනා කළා ගෝඨාභය මහතාට යාපනයට එන්න කියලා. සෙල්ෆි පින්තූරත් ගොඩක් අරගෙන හැමෝම සතුටින් විසිර ගියා.

එරන්ද ගිනිගේ

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස