දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලු බලතල පළාත් සභාවලට ලබාදීම යන දෙකම ක්‍රියාත්මක කරන ලෙස බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පවසයි.
“පළාත් සභා මැතිවරණය නැතුව මේ බලය බෙදාහැරීමේ ක්‍රමවේදය ගැන කතා කරලා වැඩක් නෑ කියලා මම කිව්වාම ජනාධිපතිතුමා කිව්වා මේ දෙකෙන් එකක් පමණයි ඕගොල්ලොන්ට තෝරන්න පුළුවන් කියලා. එක්කෝ මැතිවරණය ඉල්ලන්න, නැත්නම් බලය බෙදාහැරීම ඉල්ලන්න, දෙකම ඉල්ලන්න බෑ කියලා කිව්වා. ඉතින් මේක තේරුමක් නෑ.
අපි ඒකට අභියෝග කළා මේ දෙකම එක දිසාවකට තමයි තියෙන්නේ, ඒ නිසා දෙකම කරන්න ඕනේ කියලා කියපු සැණින් ජනාධිපතිතුමා නැගිටලා රැස්වීම අවසානයි කියලා ගියා. විග්නේශ්වරන් මහතා ජනාධිපතිතුමාට සහාය දීලා “අපට මැතිවරණයක් ඕනෙ නෑ, දැන් මැතිවරණය තියන්න බෑ” කියලා කරුණු කිව්වා.
නමුත් දෙමළ ජාතික සන්ධානය වශයෙන් අපි ඒක ප්‍රතික්ෂේප කරලා හෙළිදරව් කළා, දෙමළ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණය තියන්න, ඒත් එක්කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභාවට තියෙන බලතල ඔක්කොම ක්‍රියාත්මක කරන්න අනුමැතිය දෙන්න කියලා අපි ඉල්ලා සිටියා.”
එම්. ඒ. සුමන්දිරන් මේ බව පැවසුවේ ඊයේ (27) යාපනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.